විදේශීය අධිකරණයකට, විනිසුරුවරයෙකුට හෝ කිසිදු සංවිධානයකට මෙරට අභ්‍යන්තර පරිපාලනයට සහ අධිකරණයට ඇඟිලි ගැසීමට ඉදිරියටත් ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.
පසුගිය යුද සමයේ සිදුවූවායැයි පැවසෙන මානව හිමිකම් කඩවීම් පිළිබඳ අපට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විදේශීය විනිසුරුවරුන් ගෙන ඒමට සහ විදේශීය යුද අධිකරණ පිහිටුවීමට කුමන ස්ථානවල, කුමන ආකාරයෙන් අදහස් ප්‍රකාශ වුව ද තමා ජනාධිපති ධූරයේ කටයුතු කරනතාක් ඒ සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන බව ද ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (08) පානදුර නගර සභා ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 70 වන ජාතික උපසම්පදා විනය කර්ම මහෝත්සවයට එක් වෙමිනි.
අපේ රටේ නිදහසට, ස්වාධිනත්වයට සහ භෞමික අඛණ්ඩතාවයට අභියෝගයක් වන ආකාරයේ කිසිදු ජාතික හෝ ජාත්‍යන්තර කටයුත්තකට ඉඩ නොතබන බවද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපතිවරයා මාතෘ භූමියේ නිදහස සහ ස්වාධීනත්වය වෙනුවෙන් නොපසුබටව කටයුතු කරන බවට ද මහා සංඝරත්නය ඉදිරියේ ප්‍රතිඥා දුන්නේය.
ජාතික ආරක්ෂාව ඇතුළු රටේ සියලූ කටයුතුවලදී ගෞරවනීය මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා සහ මගපෙන්වීම යටතේ කටයුතු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවද පැවසූ ජනාධිපතිවරයා බෞද්ධයෙකු ලෙස මෙන්ම රාජ්‍ය නායකයා ලෙස රටේ අභිමානවත් ඉතිහාසයට ගරු කරමින් ශ්‍රී ලාංකීක සමාජයත් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවන බවද අවධාරණය කළේය.