උඩරට එළවළු වර්ග රට පුරා බෙදා හරින ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානයක් වන කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ග රැසක මිල පසුගිය සති කිහිපයට වඩා පහත වැටී ඇතැයි එම ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙදුන් පවසති.
පසුගිය සති කිහිපයේ බොහොමයක් එළවළු වර්ග වල කිලෝවක තොග මිල රුපියල් දෙසිය පනහට වඩා ඉහලින් පැවති අතර මේ වන විට එම එළවළු වර්ග කිලෝවක මිල රුපියල් සියයත් එකසිය පනහත් අතර මිලකට පහත වැටී ඇති බවත් තක්කාලි කිලෝවක මිල රුපියල් සියයෙන් පහල අගයක පවතින බවත් වෙළෙදුන් පවසති.
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සංගමයේ සභාපති මහින්ද ප්‍රේමසිරි ඒකනායක මහතා මෙසේ පැවසීය
සෑම වර්ෂයකම ජූනි සිට අගෝස්තු අතර කාලයේ එළවළු මිල පහතට වැටෙනවා. එයට හේතුව තමයි ලංකාවේ විවිධ ප්‍රදේශවල එළවළු අස්වනු වෙළද පොලට එන එක. තක්කාලි , කැරට් ආදි එළවළු ඒ අතර තිබෙනවා. මේ වන විට තක්කාලි කිලෝවක තොග මිල රුපියල් අසුවක් දක්වා පමණ පහත වැටී තිබෙනවා. බෝංචි මිල තමයි වැඩි. එයට හේතුව වෙලා තියෙන්නේ පසුගිය දින වල පැවති අධික සුළං තත්වය හේතුවෙන් බෝංචි වගාවන් විනාශ වීම.
දැනට මේ කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට වෙනදාට වඩා එළවළු තොග ලැබෙනවා. ඒ නිසා තමයි මේ මිල පහත වැටිලා තියෙන්නේ. එළවළු කිලෝවක තොග මිල පසුගිය සති වල රුපියල් දෙසියට ඉහලින් පැවති බොහොමයක් එළවළු වර්ග වල මිල මේ වන විට රුපියල් එකසිය පනහෙන් පහලට වැටිලා තියෙන්නේ. ලංකාවේ විවිධ ප්‍රදේශවල වගා කරන එළවළු වර්ග කැප්පෙටිපොල , දඹුල්ල , නුවරඑළිය ආදී එළවළු වර්ග ලැබෙන ආර්ථීක මධ්‍යස්ථාන සියල්ලටම මේ දින වල ගොවින් විසින් විකුණා ගැනීම සදහා රැගෙන එනවා.
වැලිමඩ කුමාරගේ
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල






