ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගාවලියක ලැබූ අවමන් සහගතම තරගාවලි පරාජය අත්විඳිමින් රන්චිහිදී ඊයේ (16දා) පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් ඉන්දීය කණ්ඩායම හමුවේ කඩුලු තුනක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. තරග පහකින් සමන්විත වූ මෙම තරගාවලියේ තරග සියල්ලම පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. එම පරාජයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ තරග පහකින් සමන්විත තරගාවලියක එකඳු තරගයක් හෝ ජයනොගත් පළමු තරගාවලිය ලෙස අමිහිරි මතකයක් ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා අතරට එක්විය.
මෙම ජයග්‍රහණය ඉන්දියාව, ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ 100 වැනි තරග ජයග්‍රහණය විය. (එක්දින-83, ටෙස්ට්-14, විස්සයි20- 03). එය ඔවුන් ලොව ඕනෑම කණ්ඩායමකට එරෙහිව දක්වා ඇති ඉහළම දක්ෂතාවද වෙයි. ලකුණු 287ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම තරගයේ 48.4 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය පසුකර යාමට සමත් විය. ඉන්දීය ඉනිම ජයග්‍රහණය කරා මෙහෙයවූ විරාට් කෝලි නොදැවී ලකුණු 139ක් රැස්කිරීමට සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 08ක් දැවී ලකුණු 286ක් රැස්කිරීමට සමත් විය. සටන්කාමී ඉනිමක් ගොඩනැගූ නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 139ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේය. 2008 වසරේදී එක්දින වරම් හිමිකරගත් මැතිව්ස් මේ වනවිට එක්දින ජාත්‍යන්තර තරග 138කට ක්‍රීඩාකර ඇති අතර, ඔහු ඊයේ (16දා) රැස්කරනු ලැබුවේ තම මංගල එක්දින ශතකයයි. මීට පෙර පාකිස්තානයට එරෙහිව මෙම වසරේදී රැස්කළ ලකුණු 93 ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.
මැතිව්ස් 2014 වසරේ වැඩිම එක්දින ලකුණු රැස්කර ඇති පිතිකරුවාද වන අතර, ඔහු මේ වනවිට තරග 25කට ක්‍රීඩාකර ලකුණු 1062ක් රැස්කරගෙන සිටියි. එහි තරගය ලකුණු රැස්කිරීමේ සාමාන්යතාව 70.80ක අගයක් ගනියි. මෙම වසරේ ලකුණු දහසේ සීමාව පසුකළ පළමු පිතිකරුවා වීමට මැතිව්ස්ට මෙම ඉනිමේදී හැකිවූ අතර, එහි දෙවැනි ස්ථානයේ පසුවන ඉන්දියාවේ විරාට් කෝලි ලකුණු 1054ක් රැස්කරගෙන සිටියි. එමෙන්ම මෙම තරගයට පෙර මැතිව්ස්ගේ එක්දින තරගය ලකුණු රැස්කිරීමේ සාමාන්යතාව 39.18ක්වූ අතර, එය මෙම තරගයෙන් පසු 40.87ක් දක්වා ඉහළ ගියේය.
ඉන්දීය තරගාවලිය පුරාම අසාර්ථකවූ කුසල් පෙරේරා ඊයේ (16දා) තරගයෙන් ඉවත්කර තිබූ අතර, ඒ වෙනුවට නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබුණි. ඔහුගේ පළමු එක්දින ජාත්‍යන්තර තරගයද මෙය විය. කෙසේ නමුත් ඔහුටද කුසල්ට වැඩියමක් කළ නොහැකි වූ අතර, ලකුණු 04ක් රැස්කරගෙන සිටියදී දවාල් කුල්කර්නිගේ පන්දුවක් හමුවේ අම්බති රයිදු අතට උඩපන්දුවක් ලබාදී දැවීගියේය.
මෙම තරගාවලිය පුරා ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භක් නොලැබීම තරගයක් දියහැකි ලකුණු සංඛ්‍යාවක් කරා ඉනිම රැගෙනයාමට තිබූ අවස්ථා ආරම්භයේදීම ගිලිහී ගිය අතර, ඒ හේතුවෙන් මෙම තරගයේදීද එය ප්‍රධාන ලෙස බලපෑවේය. ඉනිමට තවත් ලකුණු දහයක් එක් වනවිට වේගයෙන් ලකුණු රැස්කරමින් සිටි ඩිල්ෂාන්ගේ ඉනිම අවසන් කිරීමට ස්ටුවර්ට් බිනී සමත් විය. ලකුණු 35ක් රැස්කරගෙන සිටි ඩිල්ශාන් පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවීගියේය.
ඉන් අනතුරුව එක්වූ දිනේෂ් චන්දිමාල්ද අසාර්ථකවූ අතර, මහේල සමගින් ලකුණු 27ක සබඳතාවක් ගොඩනගා සිටියදී ආක්ෂාර් පටෙල්ගේ පන්දුවක් හමුවේ තෙවැනි කඩුල්ල ලෙස චන්දිමාල් (05) රෝහිත් ශර්මා අතට උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්ව ගියේය. ඉතා මන්දගාමී වූ එම කෙටි ඉනිම ගොඩගැනීම සඳහා ඔහුට පන්දු 31ක් වැයවිය. එම දැවීයාමෙන් පසුව ශ්‍රී ලංකා ඉනිමට එක්වූයේ තවත් ලකුණු 12ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම තවදුරටත් අසරණ කළ රවිචන්ද්‍රන් අශ්වින්, ලකුණු අතරට එමින් සිටි මහේල ජයවර්ධනගේ ඉනිම ලකුණු 32කට සීමාකළේය.
එම දැවීයාමෙන් ශ්‍රී ලංකා ඉනිම කඩාවැටීමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා නායකයා, ළහිරු තිරිමාන්න සමගින් ලකුණු 128ක සබඳතාවක් ගොඩනගා ඉනිම 213ක් දක්වා රැගෙන ආවේය. 09 වැනි එක්දින අර්ධ ශතකය රැස්කළ තිරිමාන්න පස්වැනි කඩුල්ල ලෙස දැවී යනවිට ලකුණු 52ක් රැස්කරගෙන සිටියේය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම තනිව ගොඩනැගීමේ වගකීම භාරගත් මැතිව්ස් ලකුණු රැස්කිරීමේ වේගය වැඩිකළේය. හයවැනි කඩුල්ල ලෙස තිසර පෙරේරා (06) දැවීයන විට ඔවුන් දෙදෙනා පන්දුවාර 2.5කදී ලකුණු 45 රැස්කරගෙන සිටි අතර, මැතිව්ස් පමණක් තනිව ලකුණු 39ක් රැස්කරගෙන සිටියේය. ඉන් අනතුරුව පන්දුවට පහරදීමට පැමිණි සීක්කුගේ ප්‍රසන්නට හා අජන්ත මෙන්ඩිස්ට ලකුණු නොලබා පිටියෙන් ඉවත්වීමට සිදුවිය. කෙසේ නමුත් ඉනිම කඩාවැටීමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා නායකයා තම උපරිම ශක්තිය යොදවා ශ්‍රී ලංකා ඉනිම 286ක් දක්වා රැගෙන ආවේය. ඒ හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය. තරගාවලිය පුරා දක්ෂතා දැක්වූ විරාට් කෝලි තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමිකරගත්තේය.
ශ්‍රී ලංකාව 286/8 (පන්දුවාර 50)
ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 139 (පන්දු 116, 4x6, 6x10)
ළහිරු තිරිමාන්න 52 (පන්දු 76, 4x2, 6x1)
තිලකරත්න ඩිල්ෂාන් 35 (පන්දු 24, 4x7)
මහේල ජයවර්ධන 32 (පන්දු 33, 4x5)
දවාල් කුල්කර්නි 3/57 (පන්දුවාර 8)
ආක්ෂාර් පටෙල් 2/45 (පන්දුවාර 10)
රවිචන්ද්‍රන් අශ්වින් 2/56 (පන්දුවාර 10)
ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු වැටීම
1-32 (දික්වැල්ල, 4.4), 2-45 (ඩිල්ෂාන්, 5.6), 3-73 (චන්දිමාල්, 14.4), 4-85 (මහේල, 18.3), 5-213 (තිරිමාන්න, 44.6), 6-258 (තිසර, 47.5), 7-285 (ප්‍රසන්න, 49.3), 8-286 (අජන්ත, 49.6)
ඉන්දියාව 288/7 (පන්දුවාර 48.4)
විරාට් කෝලි නොදැවී 139 (පන්දු 126, 4x12, 6x3)
රම්බති රයිදු 59 (පන්දු 69, 4x8, 6x1)
කෙදර් ජදාව් 20 (පන්දු 24, 4x3)
අජන්ත මෙන්ඩිස් 4/73 (පන්දුවාර 9.4)
ඇන්ජලෝ මැතිව්ස් 2/33 (පන්දුවාර 7)
ඉන්දීය ඉනිමේ කඩුලු වැටීම
1-6 (රහානේ, 2.4), 2-14 (රෝහිත්, 4.3), 3-150 (රයිදු, 27.6), 4-180 (උතප්පා, 33.3), 5-215 (ජදාව්, 39.4), 6-231 (බිනී, 43.1 ), 7-231 (අශ්වින්, 43.2)