සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පාසල් කණ්ඩායමකටද දෙවැනි කරමින් කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ අද (13දා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 153ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ලකුණු 405ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 43.1 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 251ක් පමණි.
මෙම තරගාවලිය පුරා කුසල්ගෙන් ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් නොලැබුණු අතර, අද තරගයේදීද ඔහු පළමු පන්දුවාරයේදීම ලකුණු නොලැබූ පිතිකරුවෙකු ලෙස පිටියෙන් ඉවත්ව ගියේය. එම අසාර්ථක ආරම්භයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම ආරම්භවිය. ඇන්ජලෝ මැතිව්ස් හා ළහිරු තිරිමාන්න පස්වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 118ක සබඳතාව හැරෙන්නට සමස්ත පිතිකරණ බලඇණියම පහළ මට්ටමක පැවැති අතර, අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට රෝහිත් ශර්මා තනිව රැස්කළ ලකුණු 264 සීමාව හෝ පසුකරයාමට නොහැකිවිය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 404ක් රැස්කිරීමට සමත්විය. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ අවස්ථා 11කදී ලකුණු 400 සීමාව පසුකර තිබෙන අතර, ඉන්දීය කණ්ඩායම එම කඩඉම පසුකළ පස්වැනි අවස්ථාව මෙයවෙයි. ශ්‍රී ලංකා කණ්ඩායම 2006 වසරේදී නෙදර්ලන්තයට එරෙහිව රැස්කළ ලකුණු 443/9 එක්දින ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් රැස්කර ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත පිතිහරඹයක් දියත්කළ රෝහිත් ශර්මා පන්දු 173කදී ලකුණු 264ක් රැස්කිරීමට සමත්විය. එය එක්දින ක්‍රිකට් පිටියේ පිතිකරුවෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. ඔහු මීට පෙර ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 209ක් රැස්කර ඇති අතර, ඒ අනුව එක්දින ද්විත්ව ශතක දෙකක් වාර්තා කළ ලොව පළමු පිතිකරුවා ලෙසද ශර්මා අද (13දා) වාර්තා අතරට එක්විය.
ශර්මාගේ ඉනිමේ පළමු ලකුණු 50 සීමාව ඔහු පන්දු 72කදී පසුකර ගිය අතර, දෙවැනි, තෙවැනි හා සිවුවැනි 50 සීමාවන් ඔහු පිළිවෙළින් පන්දු 28, 25 හා 26 ලෙස පසුකර ගියේය. එය තවදුරටත් වේගවත් කළ ශර්මා අවසන් ලකුණු 50 සීමාව (200-250) පන්දු 15කදී පසුකර ගියේය.
එමෙන්ම ඔහුගේ ඉනිමට හතරේ පහර 33ක් අන්තර්ගතවූ අතර, එය එක්දින තරගයකදී පිතිකරුවෙකු එල්ලකළ වැඩිම හතරේ පහර සංඛ්‍යාව විය. මීට පෙර සචින් තෙන්ඩුල්කාර් හා විරේන්ද්‍ර ශෙවාග් හතරේ පහර 25 බැගින් එල්ල කර තිබිණි. පිතිකරුවන් තිදෙනෙකු මේ වනවිට එක්දින ද්විත්ව ශතක වාර්තාකර තිබෙන අතර, ඔවුන් තිදෙනාම ඉන්දීය පිතිකරුවන් වීමද කැපීපෙනේ. (ශෙවාග්-219, තෙන්ඩුල්කාර් - නොදැවී 200).කෙසේ නමුත් ශර්මා ලකුණු 04 ක් රැස්කරගෙන සිටියදී ශමින්ද එරංගගේ පන්දුවක් හමුවේ තිසර පෙරේරා අතට ලබාදුන් උඩපන්දුව රැකගැනීමට නොහැකිවූ අතර, යම් හෙයකින් එය රැකගැනීමට හැකිවූවා නම් ශ්‍රී ලංකාවට හිමිවන ඉලක්කය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබිණි.
ශර්මාට අමතරව විරාට් කෝලි ලකුණු 66ක් රැස්කිරීමට සමත්වූ අතර, ශර්මා සමගින් කෝලි තෙවැනි කඩුල්ලට පන්දුවාර 25.5කදී ලකුණු 202ක සබඳතාවක් ගොඩනැගීමට සමත්විය. තරගයේ වීරයා ලෙස රෝහිත් ශර්මා සම්මාන හිමිකරගත්තේය.
ඉන්දියාව 404/5 (පන්දුවාර 50)
රෝහිත් ශර්මා 265 (පන්දු 173, 4x33, 6x9)
විරාට් කෝලි 66 (පන්දු 64, 4x6)
නුවන් කුලසේකර 2/89 (පන්දුවාර 9)
ඇන්ජලෝ මැතිව්ස් 2/44 (පන්දුවාර 9)
ශමින්ද එරංග 1/77 (පන්දුවාර 10)
ඉන්දීය ඉනිමේ කඩුලු වැටීම
ශ්‍රී ලංකාව 251/10 (පන්දුවාර 43.1)
ඇන්ජලෝ මැතිව්ස් 75 (පන්දු 68, 4x9, 6x1)
ළහිරු තිරිමාන්න 59 (පන්දු 69, 4x7, 6x1)
තිලකරත්න ඩිල්ෂාන් 34 (පන්දු 33, 4x6)
ධවාල් කුල්කර්නි 4/34 (පන්දුවාර 10)
උමේෂ් යාදව් 2/38 (පන්දුවාර 8)
ස්ටුවර්ට් බිනී 2/55 (පන්දුවාර 8)
ආක්ෂාර් පටෙල් 2/51 (පන්දුවාර 7.1)
ශ්‍රී ලංකා කඩුලු වැටීම