2015 වසරේදී එක්දින ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවේ හා නවසීලනත්යේ පැවැත්වුවත් එම අභියෝගයට මුහුණදීමට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් සූදානම් බවත් ඒ වෙනුවෙන් මේ වනවිට දඟපන්දු යවන්නන් හත් දෙනෙකු පිළිබඳව අවධානය යොමුකර තිබෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යැවීමේ පුහුණුකරු පියල් විජේතුංග මහතා 'අද' පැවසීය.
ලෝක කුසලාන තරගාවලිය ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන හෙයින් වේගපන්දු යවන්නන්ට උචිත තණතීරුවලදී ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන්නගේ කාර්යය හා තරගාවලිය සඳහා දඟපන්දු යවන්නන්ගේ සූදානම පිළිබඳව 'අද' කළ විමසුමකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
"අන්තිම අවුරුදු 20-25 ගත්තොත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානම තුරුම්පු වුණේ දඟපන්දු යවන්නන්. ඒ අනුව ලෝක කුසලානයට සූදානම් වෙච්ච දඟපන්දු යවන්නන් හත් දෙනෙක් ඉන්නවා. ඒ හත්දෙනා ගැන මම සෑහීමකට පත්වෙනවා. මේ තරගාවලිය ඔස්ට්‍රේලියාවේ නවසීලන්තයේ තියෙන නිසා ඒ තත්ත්වයන් අපිට ගැළපෙන්නෙ නෑ කියලා කතාවක් තියෙනවා. නමුත් අපේ දඟපන්දු යවන්නන් ඒ විකට්ටුව මත පමණක් රැඳී ඉන්නේ නෑ. ඒ අය දැන් ලෝක කුසලානයට සූදානම්." යැයි පියල් විජේතුංග මහතා පවසා සිටියේය.