ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙවර ශූරතාව දිනාගැනීමට ලසිත් මාලිංග නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (24දා) සමත් විය. කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලකුණු 41කින් ඔවුන් හමුවේ පරාජය විය.
මුම්බායි කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 203 ක ඉලක්කයට පිළිතුරු ලෙස චෙන්නායි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 161/8 ක් පමණි. ආරම්භක පිතිකරු ඩ්වෙන් ස්මින් ලකුණු 57 (48) ක් රැස්කළද, එය චෙන්නායි කණ්ඩායමට ජය ගෙනදීමට තරම් සැනසිලිදායක ඉනිමක් නොවීය.
චෙන්නායි කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 202/5 ක් රැස්කිරීමට සමත් විය. ලෙන්ඩ්ල් සිමන්ස් සමගින් පාතිව් පටෙල් මුම්බායි ඉනිම ආරම්භ කළ අතර, ඩු ප්ලෙසිස්ගේ විශිෂ්ට පන්දු රැකීම හමුවේ පළමු පන්දුවාරයේදීම දුවද්දී දැවීයාමකට හසුව පටෙල්ගේ ඉනිම අවසන් විය. කෙසේ නමුත් එම දැවීයාමෙන් මුම්බායි ඉනිමට කිසිදු බලපෑමක් නොවූ අතර, දෙවැනි කඩුල්ල ලෙස පන්දුවට පහරදීමට පැමිණි රෝහිත් ශර්මා, සිමන්ස් හා එක්ව අනුකම්පා විරහිත ප්‍රහාරාත්මක පිතිහරඹයක් ප්‍රතිවාදී පන්දු යවන්නන්ට එල්ල කරමින් ඉනිම ගොඩනැගීමේ මෙහෙයුම දියත් කළහ.
මුලු ලකුණු 120 දී ඩ්වේන් බ්රාවෝගේ පන්දුවක් හමුවේ රවින්ද්‍ර ජඩේජා වෙත උඩපන්දුවක් ලබාදී ශර්මා දැවීයන විට ලකුණු 50 ක් රැස්කරගෙන සිටියේ පන්දු 26 ක් පමණක් වැයකරමිනි. ඒ වනවිට ඔවුන් දෙදෙනා ලකුණු 119 (පන්දු 67) සබඳතාවක් ගොඩනගා තිබුණි. එම දැවීයාමෙන් පසු පන්දුවාරයේදී සිමන්ස්ගේ ඉනිමද අවසන් කිරීමට ඩ්වේන් ස්මිත් සමත්විය. සිමන්ස් දැවීයන විට පන්දු 45කදී ලකුණු 68 ක් රැස්කරගෙන සිටියේය.
කෙසේ නමුත් මෙම දැවීයාම් මුම්බායි ඉනිම පාලනය වන්නට තරම් හේතුවක් නොවූ අතර, ඉන් අනතුරුව පිටියට පිවිසි අම්බති රයිදු හා කිරන් පොලාඩ් ලකුණු 71 ක (පන්දු 40) සබඳතාවක් ගොඩනගා මුලු ලකුණු 191 ක් දක්වා ඉනිම රැගෙන ආහ. සිවුවැනි කඩුල්ල ලෙස පන්දු 18 කදී ලකුණු 36 ක් රැස්කළ පොලාඩ් දැවීගිය ගියේය. ඉනිමේ බිඳවැටුණු අවසන් කඩුල්ල ලෙස හාදික් පැදියා (0) දැවීගියේය.
ශූරතාව දිනාගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 15 (ශ්‍රී.රු.කෝ. 31.5) මුදලක් හිමිවූ අතර, අනුශූරතාව දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝට් 10 (ශ්‍රී.රු.කෝ 21) මුදලක් හිමිවිය.
තරගයේ වීරයා ලෙස රෝහිත් ශර්මා සම්මාන දිනාගත්තේය. ඊට අමතරව නැගී එන ක්‍රීඩකයා ලෙස ශර්යාස් අයර් (දිල්ලි ඩෙයාඩෙවිල්ස්) සම්මාන දිනාගත් අතර, වටිනාම ක්‍රීඩකයා හා වේගවත්ම අර්ධ ශතක (පන්දු 19) රැස්කළ ක්‍රීඩකයා ලෙස අන්ඩ්‍රෙ රසල් (කොල්කටා නයිට් රයිඩර්ස්) සම්මාන දිනාගත්තේය. ක්‍රිස් ගේල් දිගුම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිවිය.
මෙවර තරගාවලියේ ඉහළම ලකුණු රැස්කළ පිතිකරුවා සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ඩේවිඩ් වෝනර් (562) වන අතර, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ඩේව්න් බ්රාවෝ (26) වැඩිම කඩුලු දවාළූ පන්දු යවන්නා විය. කඩුලු 24 දවාළූ ලසිත් මාලිංග එහි 2 වැනි ස්ථානයේ පසුවිය.
ඊට අමතරව මෙවර තරගාවලියේ හයේ පහර 692 ක් වාර්තා වූ අතර, ක්‍රිස් ගේල් (38) එහි වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා වෙයි. ඊට අමතරව හතරේ පහර 1607 ක් මෙවර වාර්තා වූ අතර, ඩේවිඩ් වෝනර් (65) වැඩිම සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා විය.
අයි.පී.එල්. තරගාවලියේ වැඩිම අවසන් මහා තරග සංඛ්‍යාවකට ක්‍රීඩාකර ඇති චෙන්නායි කණ්ඩායම මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ 06 වැනි වරටය. ඉන් දෙවතාවකදී ඔවුන් ශූරතාව හිමිකරගෙන ඇත. එක් වතාවකදී ශූරතාව හිමිකරගෙන ඇති මුම්බායි කණ්ඩායම මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ තෙවැනි වරටය.
2008 වසරේ ආරම්භ වූ මෙම තරගාවලියේ පළමු ශූරයන් වීමට රාජස්ථාන් රෝයල්ස් (චෙන්නායි පරදා) කණ්ඩායම සමත්වූ අතර, ඩෙකෑන් චාජර්ස් (බැංගලෝර් පරදා) 2009 වසරේ ශූරයන් විය. ඉන් අනතුරුව 2010 (මුම්බායි පරදා) හා 2011 (බැංගලෝර් පරදා) වර්ෂ දෙකේ අඛණ්ඩව ශූරයන් වීමට චෙන්නායි සමත්විය. 2012 වර්ෂයේ කොල්කටා (චෙන්නායි පරදා) ශූරයන් වූ අතර, 2013 වසරේ මුම්බායි (චෙන්නායි පරදා) ශූරයන් විය. පසුගිය වසරේ (2014) නැවතත් කොල්කටා (පංජාබ් පරදා) ශූරයන් විය.
මුම්බායි ඉනිම / චෙන්නායි පන්දු යැවීම
චෙන්නායි ඉනිම / මුම්බායි පන්දු යැවීම