එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක කෙවින් පීටර්සන් පසුගිය කාලයේ මාධ්‍ය වෙත පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ එංගලන්ත ක්‍රිකට් ආයතනයත් සමග ඇතිකරගත් ගැටුම් හේතුවෙන් ඔහුට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානය අහිමිවීම ඇතුළු සිදුවීම් කිහිපයක් හේතුවෙනි. ඉන් අනතුරුව ඔහු කිහිපවරක් නැවතත් කණ්ඩායමට එක්වීමට කැමැති බව ප්‍රකාශ කළත් ඒ සඳහා අවස්ථාවක් නොලැබුණි.
එංගලන්ත ස්කයි ස්පෝර්ට්ස් ක්‍රීඩා නාළිකාව සමග පසුගියදා එක්වෙමින් පීටර්සන් නැවත වරක් ප්‍රකාශ කළේ තමාගේ ක්‍රීඩා ජීවිතයේ හොඳම කාලසමයේදී කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවීම පිළිබඳ දැඩිලෙස කම්පනයට පත්කළ සිදුවීමක් බවත් නැවතත් කණ්ඩායමට එක්වීම සූදානමින් සිටින බවත්ය.
"මේක මුදල් පිළිබඳ ගනුදෙනුවක් නෙමෙයි. මේක මගේ කැමැත්ත පිළිබඳ ප්‍රශ්නයක්. මම කැමතියි මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න" පීටර්සන් එහිදී සඳහන් කර ඇත.
ඒ අනුව පීටර්සන්ගේ කැමැත්ත යථාර්ථයක් වන බව පෙනෙන්නට තිබෙන අතර ඒ සඳහා ඉඟියක් එංගලන්ත නව ක්‍රිකට් සභාපතිවරයා විසින් ප්‍රකාශ කර තිබේ.
පීටර්සන් නැවත කණ්ඩායමට එක්කරගැනීම පිළිබඳ එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ (ඊ.සී.බී) සභාපති කොලින් ග්‍රේව්ස් පවසන්නේ ඔහුට එංගලන්ත සංචිතයේ දොර නැවතත් විවර කරදීමට නම් පළමුව එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගවලි සඳහා එක්විය යුතු බවයි. එහිදී දක්වන දක්ෂතා මත ඔහුව නැවතත් කණ්ඩායමට එක් කරගැනීමට සලකා බැලිය හැකි බව ග්‍රේව්ස් සඳහන් කර ඇත.
පීටර්සන්ට එංගලන්ත සංචිතයේ සිය ස්ථානය අහිමි වීමේ උච්චතම අවස්ථාව වූයේ 2013/2014 වර්ෂයේ පැවැති අළුබඳුන ටෙස්ට් තරගාවලියේදී එංගලන්තය ඔස්ට්‍රේලියාව හමුවේ ලැබූ දරුණු පරාජයයි. පිතිකරුවෙක් ලෙස මෙහිදී දැඩි ලෙස අසාර්ථක වූ පීටර්සන් එම තරගාවලියෙන් පසුව එංගලන්ත සංචිතයෙන් ඉවත්කිරීමට එංගලන්ත ක්‍රිකට් බලධාරීහු ක්‍රියා කළහ.
ඉන් අනතුරුව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය දිගින් දිගටම විවේචනය කිරීම පසුගිය සමයේදී මාධ්‍ය හරහා මහත් ආන්දෝලනාත්මක සිදුවීම විය. ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනයෙන් නොනැවතුණු ඔහු එහිදී කණ්ඩායමේ පුහුණුකරු වූ ඇන්ඩි ෆ්ලවර් හා ඇතැම් ක්‍රීඩකයන්ද දෝෂදර්ශනය ලක් කළේය.
පීටර්සන් පසුගිය සමයේ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිහිදී සරේ ප්‍රාන්තය නියෝජනය කළ අතර, එම කණ්ඩායම් වෙනුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමටද ඔහු සමත්විය. නමුත් පසුගිය වසරේදී සරේ සමග සිය ක්‍රීඩා ගිවිසුම අවසන් වීමෙන් අනතුරුව අයි.පී.එල් හා ඔස්ට්‍රේලියානු බිග්බෑෂ් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලි සඳහා එක්වූ ඔහු එහිදීද ලකුණු අතරට පැමිණීමට සමත් වීම නැවතත් එංගලන්ත කණ්ඩායම සමග එක්වීමේ බලාපොරොත්තු ඇති කරවන්නක් විය.
මේ අතර එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමද ක්‍රිකට් පිටියේදී මේ දිනවල දක්වන දක්ෂතා ඉතා අවම මට්ටමක පවතින අතර, එය මෙවර ලෝක කුසලාන තරගාවලියේදීද දක්නට ලැබුණි.
එහි ආසන්නම අවස්ථාව වූයේ තරගාවලියේ පෙරේදා (01දා) ශ්‍රී ලංකාව සමග පැවැති තරගයද එංගලන්තය කඩුලු 09 කින් පරාජයට පත්වීමයි. මෙවර තරගාවලියේදී කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමද ඉතා අවම මට්ටමක පවතී.
ඒ අනුව මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලියේ 'ඒ' කාණ්ඩයමෙන් ක්‍රීඩා කරන එංගලන්තය එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ හය වැනි ස්ථානයට පත්ව තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වීමේ අවදානමකට ලක්වී ඇත.
(ඩේලිමේල් ඇසුරෙනි)