ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයට ප්‍රධානම හේතුව දඟ පන්දු යවන්නන්ගේ දුර්වලතාව බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. මැතිව්ස් මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ඊයේ (11දා) පැවැති එක්දින තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.
"පිතිකරුවන්ගෙන් තව ලකුණු 20ක් පමණ ලැබුණානම් අපට හොඳ තරගයක් ලබාදෙන්න තිබුණා. නමුත් දඟ පන්දු යවන්නන්ගේ දුර්වලතාව තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට ප්‍රධානම හේතුව වුණේ. මොකද මේක (තණතිල්ල) දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතිල්ලක්. සචිත්ර සේනානායක හැරෙන්න අනෙක් පන්දු යවන්නෝ හොඳින් පන්දු යැව්වේ නැහැ."
"රංගන හේරත් ආබාධයකට ලක්වුණා. අපි අජන්ත මෙන්ඩිස්ව යොදා ගත්තෙ මේ තණතීරුව දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතිල්ලක් නිසා. ඔහු අපේ ලෝක කුසලාන සැලසුම්වල ඉන්නවා. ඒ වගේම අපි හුඟක් දුරට උත්සාහ කරන්නෙ ලෝක කුසලාන සැලසුම්වල ඉන්න ක්‍රීඩකයන්ට වැඩි වශයෙන් අවස්ථාව ලබාදෙන්න. මොකද තරගයකින් දෙකකින් ක්‍රීඩකයන්ව නීරීක්ෂණය කරන්න බැහැ." යැයි මැතිව්ස් පැවැසීය.
හෙට පැවැත්වෙන තරගය පිළිබඳ අදහස් දැක්වූ මැතිව්ස්, "ලක්ෂාන් සඳකැන් කියන්නෙ මෙන්ඩිස්ට සමාන එහෙත් තරමක් වෙනස් ආකාරයක පන්දු යවන්නෙක්. බොහෝදුරට ලක්ෂාන්ට අවස්ථාවක් ලැබෙයි. නමුත් හෙට තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම තවම තීරණය කරලා නැහැ. කණ්ඩායමේ යම් යම් වෙනස්කම් සිදුවෙයි. නමුත් ලොකු වෙනස්කම් කිරීමට බලාපොරොත්තුවක් නැහැ." යැයි මැතිව්ස් අවසන් වශයෙන් පවසා සිටියේය.