කනිෂ්ඨ ලෝක කුසලාන රග්බි තරගාවලියේ ආසියාවේ සුදුස්සන් තේරීමේ තරගාවලිය යටතේ ශ්රී ලංකා කණ්ඩායම ඊයේ (21දා) මුහුණදුන් පළමු තරගයෙන් දකුණු කොරියාව හමුවේ ලකුණු 31-28 ක තියුණු පරාජයක් අත්විඳීමට සිදුවිය.
කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති මෙම තරගයේ ආරම්භක මිනිත්තුවේදීම ගෝල දිනුමක් වාර්තා කරමින් කොරියානු ක්රීඩකයන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට ශ්රී ලංකා ක්රීඩකයන් සමත් වුවත්, එම පීඩනය සාර්ථකව මගහැර ගත් කොරියානු ක්රීඩකයෝ සිවුවැනි හා 14 වැනි මිනිත්තුවලදී ගෝල දිනුම් ද්විත්වයන් වාර්තා කරමින් ලකුණු 14 - 07ක් ලෙස ඉදිරියට පැමිණීමට සමත් වූහ.
19 වැනි මිනිත්තුවේදී යළි තරගයට අවතීර්ණ වූ ශ්රී ලංකා ක්රීඩකයෝ ගෝල දිනුමක් වාර්තා කරමින් ලකුණු 14 -14ක් ලෙස තරගය සම කළහ. කෙසේ වෙතත් තරගයේ 22 වැනි මිනිත්තුවේදි උත්සාහක දිනුමක් වාර්තා කර නැවත වරක් තරගය කොරියාව දෙසට දෝලනය විය.
නමුත් දිගටම තරගයේ රැඳී සිටි ශ්රී ලංකා ක්රීඩකයන් 25 වැනි මිනිත්තුවේදී ගෝල දිනුමක් වාර්තා කළේ ලකුණු 21 - 19ක් ලෙස තගරයේ වාසිය තමන් වෙත නතු කරගනිමිනි. එහෙත් පළමු අර්ධය නිමාවීමට මිනිත්තු 10 ක් ඉතිරිව තිබියදී උත්සාහක දිනුමක් වාර්ථා කිරීමට කොරියානු ක්රිඩකයන් සමත් වූ අතර, ඒ අනුව ප්රථම අර්ධය ලකුණු 24 – 21 ක් ලෙස අවසන් විය. දකුණු කොරියාව ඉදිරියෙන් සිටිමිනි.
දෙවැනි අර්ධය තුළදී ප්රතිවාදීන්ට දැඩි අභියෝගයක් එල්ල කළ ශ්රී ලාංකික ක්රීඩකයන් නැවතත් ඉදිරිය පැමිණීමට සමත් වූයේ 63 වැනි මිනිත්තුවේදී ලබාගත් ගෝල දිනුමත් සමගිනි. ඒ සමගම ලකුණු 24-28 ත් ලෙස ශ්රී ලංකාව ඉදිරියට පැමිණි අතර, ඔවුහු අවසාන භාගය දක්වා ප්රතිවාදීන්ට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමත් වූහ. නමුත් අවසාන මිනිත්තු කිහිපයේ නැවතත් සිය ආක්රමණශීලී ක්රීඩා රටාවට අවතීර්ණ වූ කොරියානු ක්රීඩකයෝ 71 වැනි මිනිත්තුවේදී ක්රියාත්මක වෙමින් උත්සාහක දිනුමක් වාර්තා කර ලකුණු 31 - 28 ක් ලෙස තරගය ජයගැනීමට සමත් වූහ.
ජායාරූප- ශමීර රාජපක්ෂ