ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ කණ්ඩායම දෙස අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ මෙරට තේරීම් කමිටුව තවමත් තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවන් තමන්ට හිතු හිතූ පරිදි තක්සේරු කරමින් සිටින බවයි. තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදෙන බව සඳහන් කළද, තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදුන්නද, ඔවුන්ගේ දක්ෂතාවන් නිසි ලෙස අගය කිරීමක් සිදු නොකරන බව නවසීලන්ත ටෙස්ට් තරගාවලියට නම්කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය දෙස අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වේ.
විශේෂයෙන්ම එක් අර්ධ ශතකයක් ලබාගැනීම හේතුවෙන් කුසල් ජනිත්ට තවත් එක්දින තරග තුනක් පමණ ලබාදීමට තේරීම් කමිටුව කටයුතු කළද උපුල් තරංග සහභාගී වූ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පළමු ඉනිමේ ලකුණු 92ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 45ක් ලබාගත්තද ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් ඉවත් කළේ කිනම් මිනුම් දණ්ඩක් භාවිත කිරීමෙන්ද යන්න ගැටලුවකි.
තවද බ.ඉ. කොදෙව් 'ඒ' කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදි ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම සමග පැවැති නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී පා දඟ පන්දු යවන්නෙකු ලෙස දක්ෂතා දැක්වූ සීක්කුගේ ප්රසන්නද ටෙස්ට් සංචිතයට ඇතුළත් නොකිරීම ගැටලු සහගතය. 5-0 ක් ලෙසින් අන්ත පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේදී තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් සීක්කුගේ ප්‍රසන්න අත්හදා බැලුවද එය සාර්ථක නොවූ බැවින් ඔහුට එක්දින කණ්ඩායමේ ස්ථානය අහිමි වූවද, බ.ඉ. කොදෙව් 'ඒ' කණ්ඩායම සමග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර පිටියේ දී ඔහු මුහුණ දුන් එකම සිවුදින තරගයේදී පළමු ඉනිමේ දී ලකුණු 64ට කඩුලු 6ක් සහ දෙවැනි ඉනිමේ දී ලකුණු 122ට කඩුලු 3ක් ලබාගනිමින් තරගයේ වීරයා සම්මානය ද හිමිකර ගත්තේය. එහෙත් ඔහු ටෙස්ට් සංචිතයට ඇතුළත්ව නොමැත.
දකුණත් පා දඟ පන්දු යවන්නෙකු යනු තරගයක් දිනවිය හැකි පන්දු යවන්නෙකු බැවින් සීක්කුගේ ප්‍රසන්න සංචිතයට ඇතුළත් නොවීම විමතිය දනවන්නකි. විශේෂයෙන් සිවුදින තරගවලදී දක්ෂතා දක්වා ඇති අවස්ථාවක ඔහු සංචිතයට ඇතුළත් නොකිරීම ඔහුට කරන අසාධාරණයකි. සිවුදින තරගවලදී දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් සීක්කුගේ ප්‍රසන්න එක්දින සංචිතයට ඇතුළත් කළේ නම් එම තරගයේදී පළමු ඉනිම ශතකයක් රැස්කළ දිමුත් කරුණාරත්න ඉන්දීය එක්දින සංචාරය සඳහා සංචිතයට ඇතුළත් නොකිරීමද ගැටලුවකි.
එමෙන්ම බ.ඉ. කොදෙව් 'ඒ' කණ්ඩායම සමග පැවැති සිවුදින තරගාවලියේ දී දක්ෂතා දැක්වීම හේතුවෙන් දිමුත් කරුණාරත්න නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා ඇතුළත් කිරීමට තේරීම් කමිටුව කටයුතු කර ඇත්තේද පකිස්තානය සමග පැවැති අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී දක්ෂතා දැක්වූ උපුල් තරංග ටෙස්ට් සංචිතයෙන් ඉවත් ඇත්තේද ජාත්‍යන්තර තරගවලදී දක්වන දක්ෂතාවන්ට වඩා සිවුදින තරගවලදී දැක්වූ දක්ෂතා වඩා වැදගත් බව තේරීම් කමිටුව විශ්වාස කරන නිසා විය යුතුය. නමුත් ජාත්‍යන්තර පිටියේ දී දිගින් දිගටම අසාර්ථක වන කුසල් ජනිත්ට තව තවත් අවස්ථාව ලබාදීමට තේරීම් කමිටුව කටයුතු කරමින් සිටියි. මෙවැනි ක්‍රියාවන් හරහා සිදුවන්නේ තරුණ ක්‍රීඩකයන් කලකිරීම නොවේද? ඔවුන් දක්ෂතා දක්වන තරග රටාවන් සඳහා අවස්ථාව ලබානොදී තේරීම් කමිටුවට අවශ්‍ය තරග රටාවන් සඳහා එම ක්‍රීඩකයන් යොදවා අසාර්ථක වූ පසු සංචිතවලින් ඉවත් කිරීම මෙන්ම තමන්ට හිතවත් ක්‍රීඩකයන් අසාර්ථක වුවද ඔවුන්ට දිගින් දිගටම අවස්ථාව ලබාදීමට තේරීම් කමිටුව කටයුතු කිරීමද අනුමත කළ නොහැකිය.
තරුණ ක්‍රීඩකයන් අසාර්ථක වන හෙයින් අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සංචිතයට ඇතුළත් කළද ඔවුන්ට හිමිවූයේද කුඩම්මාගේ සැලකිල්ලකි. විශේෂයෙන්ම තිළිණ කණ්ඩම්බි ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවීමක් සිදුකළද තේරීම් කමිටුව ඔහුට ලබාදුන්නේ එක් අවස්ථාවක් පමණි. එය ඔහුට කළ බලවත් අසාධාරණයක් නොවන්නේද?. තේරීම් කමිටුවට හිතවත් තරුණ ක්‍රීඩකයන්ට අවස්ථා පිට අවස්ථා හිමිවෙද්දී තිළිණ කණ්ඩම්බිට හිමිවූයේ එක් අවස්ථාවකි. දිගු කාලයක් ජාත්‍යන්තර පිටියෙන් ඉවත්ව සිට නැවත පැමිණි පසු පළමු තරගයෙන්ම සාර්ථකවීම ඉතාමත් අපහසු කටයුත්තකි. එබැවින් ඔහුට තවත් අවස්ථාවක් හෝ දෙකක් ලබාදිය යුතුව තිබුණද කණ්ඩම්බිට එසේ නැවත අවස්ථාවක් හිමිනොවීය.