තමන් හෝ සංගා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තද ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැති නොවන බවත්, ලංකාවේ ක්‍රිකට් ඉදිරියට ගෙනයාමට තරුණ ක්‍රීඩකයන් රැසක් තමන් පසුපස සිටිනා බවත්, ලංකාවේ ක්‍රිකට් දියුණවෙන්නට නම් ඔවුන් තමන්වද අබිබවා යායුතු බවත් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට පැවැත්වෙන හත්වැනි හා අවසන් එක්දින තරගය පිළිබඳව අද (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මහේල මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහේල,
“මම ගොඩක් වාසනාවන්තයි එක්දින ක්‍රිකට් ආරම්භ කළ තැනින්ම මම ලංකාවේ ක්‍රීඩාකරන අවසන් තරගයක් ක්‍රීඩාකිරීමට හැකිවීම ගැන. මම ක්‍රීඩාකරන්න පටන්ගනිද්දි හිතුවෙ නැහැ මට මෙතරම් දුරක් එන්නට හැකිවෙයි කියලා. නමුත් කැපවීමේ සාර්ථකත්වයත්, කණ්ඩායමක් විදියට ක්රීඩාකිරීමත් නිසා මට ඒ ගමන එන්න ලැබුණා. මම ගොඩක් සන්තෝෂයෙන් පසුගිය කාලයේ ක්‍රීඩාකළා. ඒ නිසා හොද අධිෂ්ඨානයෙන් හෙට තරගයට මුහුණදෙන්නේ.
මමවත්, සංගාවත් ක්‍රිකට්වලින් සමුගත්තට ලංකාවෙ ක්‍රිකට් නැතිවෙන්නෙ නැහැ. ලංකාවේ ක්‍රිකට් ඉදිරියට යා යුතුයි. ඒක ගෙනියන්න තරුණ ක්‍රීඩකයන් රැසක් අපට පිටුපසින් ඉන්නවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දියුණුවෙන්න නම් තරුණ ක්‍රීඩකයන් අපිවත් අබිබවා යා යුතුයි. ඔවුන්ගේ වගකීම ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට රැගෙන යාම. අපි ගොඩක් සතුටු වෙනවා අපට මෙතෙක් කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකිරීමට හැකිවීම ගැන” යැයි පවසා සිටියේය.