සංචාරක එංගලන්ත කණ්ඩායම සමග මේ දක්වා පැවැති එක්දින තරග 4න් 3ක ජයග්‍රහණය හිමිකරගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද (10වැනිදා) දිවා රාත්‍රි තරගයක් ලෙසින් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පස්වැනි එක්දින තරගයට පිවිසෙන්නේ දැඩි ආත්ම විශ්වාසයකිනි. අද තරගය ජයග්‍රහණය කරමින් තරගාවලියේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවුවහොත් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විවේක ගැන්වීමට අවස්ථාවක් උදාකරගත හැකිය.
හතරවැනි එක්දින තරගය ජයග්‍රහණය හිමිකරගත් පසු ළහිරු තිරිමාන්න සඳහන් කර සිටියේ, මේ වනවිට ශ්‍රී ලංකාවට ස්ථිර එක්දින කණ්ඩායමක් සිටින බවයි. එහෙත් තවමත් කණ්ඩායමේ ස්ථාන කිහිපයක් ස්ථිර නැත. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ ආරම්භක පිතිකරු කුසල් ජනිත්ගේ ස්ථානය තවමත් ස්ථිර නොමැත. කුසල් දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටියි. එහෙත් ඔහුට දිගින් දිගටම අවස්ථාව හිමිවේ.
එසේ දිගින් දිගටම ඔහුට අවස්ථාව හිමිවුවද ඉන් ප්‍රයෝජනයක් ගැනීමට ඔහුට නොහැකිවිය. එබැවින් වෙනත් තරුණ ක්‍රීඩකයෙකු අත්හදා බැලීමට කාලය දැන් එළඹ ඇත. එබැවින් කුසල්ට අවස්ථාව ලබාදුන් පරිදිම සෙසු තරුණ ක්‍රීඩකයන්ටත් අවස්ථාව ලබාදීම තේරීම් කමිටුවේ වගකීමයි.
තේරීම් කමිටු සභාපතිවරයා පන්දුවට පහරදුන් ඉරියව්වට වඩාත් සමාන අයුරින් කුසල් පන්දුවට පහරදෙන බැවින් හෙට තරගයේදීද ඔහුට අවස්ථාවක් හිමිවීමට වැඩි අවස්ථාවක් ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් අතරින් අජන්ත මෙන්ඩිස් තවමත් නිසි රිද්මයට පැමිණ නොමැත. මෙන්ඩිස්ට කඩුලු ලැබුණද එම කඩුලු ඔහුගේ දක්ෂතාවට වඩා පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය හේතුවෙන් බිඳ වැටුණු කඩුලු විය. ලෝක කුසලාන තරගාවලියේදී පිතිකරුවන්ගෙන් එවැනි දුර්වල ක්‍රීඩා විලාසයක් බලාපොරොත්තු විය නොහැකි බැවින් මෙන්ඩිස් හැකි ඉක්මනින් සිය සුපුරුදු රිද්මයට පැමිණිය යුතුව ඇත. කෙසේ වෙතත් සචිත්ර සේනානායකගේ ගැටලුව නිරාකරණය වූ හේතුවෙන් ආබාධයකට ලක්ව සිටින රංගන හේරත් වෙනුවට ඔහු සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කළේය.
එහෙයින් අජන්ත මෙන්ඩිස් වෙනුවට සචිත්ර කණ්ඩායමට කැඳවීමට අවස්ථාවක් තිබේ. එසේම වමතින් චයිනමන් පන්දු යවන ලක්ෂාන් සඳකැන් සංචිතයේ සිටින බැවින් අත්හදා බැලීමක් ලෙසින් රංගන හේරත් වෙනුවට ඔහු අද තරගයට යොදාගත හැකිය.
මෙන්ඩිස් අද තරගයට ක්‍රීඩා කරන්නේ නම් තමන් සුපුරුදු රිද්මයට පැමිණ ඇති බව සනාථ කළ යුතුව ඇත. තවද තිසර පෙරේරාද මේවන විට සුපුරුදු රිද්මයේ නොමැත. කෙසේ වෙතත් තිසර පල්ලෙකැලේ තණතීරුවේදී වැඩි දක්ෂතා දක්වා ඇති බැවින් ඔහුටද අද තරගයේදී තවත් අවස්ථාවක් හිමිවනු ඇතැයි විශ්වාස කළ හැකිය.
පල්ලෙකැලේ තණතීරුව වේග පන්දු යවන්නන්ට වඩාත් හිතකර තණතීරුවක් බැවින් එංගලන්ත වේග පන්දු යවන්නන් හමුවේ ලකුණු රැස්කිරීම තරමක් අපහසුවනු ඇත. එබැවින් මේ වනවිට ලකුණු අතර සිටින සංගක්කාරට සහ මහේලට සුපුරුදු පරිදි අද තරගයේදීද වැඩි බරක් ඇදීමට සිදුවනු ඇත. එසේ නොවුණහොත් ශ්‍රී ලංකා කණ්ඩායම පීඩනයට හසුවීම වැළැක්විය නොහැකිය.
එංගලන්ත කණ්ඩායමේ නිත්‍ය නායක ඇලිස්ටෙයාර් කුක් අද තරගයේදී කණ්ඩායම සමගින් එක්වන බැවින් ඇලෙක්ස් හේල්ස්ට කණ්ඩායමේ ස්ථානය අහිමිවීමට වැඩි අවස්ථාවක් ඇත. එහෙත් එංගලන්ත තේරීම් කමිටුව හේල්ස් සම්බන්ධයෙන් තවදුරටත් විශ්වාසයෙන් පසුවේ. මන්ද හේල්ස් ලකුණු අතරට පැමිණියහොත් ඔහු පාලනය කරගැනීම අපහසු බැවිනි. හේල්ස් යනු තරගයක් තනිව ජයග්‍රහණය කළ හැකි පිතිකරුවෙකි. එබැවින් එංගලන්ත තේරීම් කමිටුව ඔහුටද තවත් අවස්ථාවක් ලබාදෙනු ඇතැයි විශ්වාස කළ හැකිය.
අප සඳහන් කළ පරිදිම ජේම්ස් ටේලර් ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙළා ගත්තේය. ටේලර්ට ගැටලුවක්ව ඇත්තේ පන්දුව වේගයෙන් ඔහු වෙත නොපැමිණීමයි. එහෙයින් ඔහුට පසුගිය තරගයේදී නිසි අයුරින් කල්යල් මැනගැනීම ගැටලුවක් විය. කෙසේ වෙතත් පල්ලෙකැලේ තණතීරුව වේගවත් තණතිල්ලක් බැවින් එය ටේලර්ට වාසියකි.
තවද ජෝ රූට් පිටියේ ස්ථාවර වූ පසු දැවීයාම එංගලන්තයට ගැටලුවක්ව ඇත. යම් හෙයකින් රූට් මෙම ගැටලුවට විසඳුමක් සොයා ගතහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනයකි. රූට් සංයමයෙන් යුතුව දිගු සම්බන්ධතා ගොඩනැගිය හැකි පිතිකරුවෙකු බැවින් ඔහු පාලනය කරගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට වාසියකි.
එංගලන්ත සංචිතය
ඇලිස්ටෙයාර් කුක් (නායක), මොයින් අලී, ජේම්ස් ඇන්ඩර්සන්, ඉයන් බෙල්, රවී බොපාරා, ජෝස් බට්ලර්, ස්ටීවන් ෆින්, හැරී ගර්නේ, ඇලෙක්ස් හේල්ස්, ක්‍රිස් ජෝඩන්, ඉයන් මෝගන්, ජෝ රූට්, බෙන් ස්ටෝක්ස්, ජේම්ස් ට්‍රැඩ්වෙල්, ජේම්ස් ටේලර්, ක්‍රිස් වෝක්ස්
ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, සචිත්ර සේනානායක, අශාන් ප්‍රියන්ජන්, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ධම්මික ප්‍රසාද්, තිසර පෙරේරා, ළහිරු ගමගේ
ඡායාරූප ශාන්ත රත්නාක