ශ්‍රී ලංකා කණ්ඩායමට හා ඇන්ජලෝ මැතිව්ස්ට මට කියන්න පණිවුඩ දෙකක් තියෙනවා. කාසියේ වාසිය දිනන්න, ඒ.බී. ඩිවිලියර්ස් ගැන වැඩිය හිතන්න එපා කියලයි.
කාසියේ වාසිය මේ තරගයේ තීරණයේ දී විශේෂ කාර්යක් කරයි කියලා මට හිතෙනවා. දත්ත අනුව සිඩ්නි පිටියේ මුලින් පන්දුවට පහරදෙන කණ්ඩායම් 58% ක් පමණ ජයග්‍රහණය කරලා තිබෙනවා. ඒක හොඳ පිටියක්. මම මේ පිටියේ එක්දින තරග 8ක් ක්‍රීඩාකර තිබෙනවා. ඔබට මේ පිටියේදී ලකුණු 300 සීමාව පසුකළ හැකිනම් ඔබගේ පන්දු යැවීම හොඳටම දුර්වල වුණත් ඔබ පහසුවෙන් රියදුරු අසුනක සිටිනවා වගේ හැඟීමක් දැනෙයි. මේ පිටියේ ලකුණුවල තිබෙන වැදගත්කම ශ්‍රී ලංකාවට එරෙහි තරගයේදී ඔස්ට්‍රේලියාව පෙන්නුවා. කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් හා දිනේෂ් චන්දිමාල් හොඳින් ක්‍රීඩාකළා. ඉනිම පුරාවටම නිල ලකුණු ලබාගැනීමට පන්දු වාරයකට ලකුණු හතකට වඩා ඉහළින් තබා ගැනීම තරමක් අපහසුයි.
ඒ ලකුණු සීමාව හඹායාමේදී ශ්‍රී ලංකාව නියම නිදහසකින් ක්‍රීඩා කළා. මොකද ඔවුන් ඒ වනවිටත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබුණේ. නමුත් ඒ නිදහස දැන් තිබෙන එකක් නෑ. තරගාවලියේ මේ දක්වා දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළ තරග දිනුවේ ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමෙන්. ඉන්දියාවට හා පාකිස්තානයට ඔවුන් පරාජයට පත්වූයේ හඹායාමේදී. පාකිස්තාන කණ්ඩායකම් පිළිමළුන් පිටුදැකීමේ වටයකදී අවසන් වරයට තරගයක් ජයග්‍රණය කර තිබෙන්නේ 1998 වසරේදීයි. නමුත් ශ්‍රී ලංකාවට එවැනි තත්ත්වයක් නෑ. පසුගිය අවස්ථා දෙකේදීම ඔවුන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට පැමිණියා. ඒ වගේම පසුගිය වසරේ පැවැති පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගය ජයගත්තා.
ඇන්ජලෝ මැතිව්ස්ට කාසිය, වාසිදායක වුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට වාසියක් වේවි. ඒ.බී. ඩිවිලියර්ස්ගේ විකට්ටුව ගැන වැඩියෙන් අවධානය යොමු කරලා ශ්‍රී ලංකා කණ්ඩායමට අමතර පීඩනයක් නොගනීවිය යැයි මම බලාපොරොත්තුවෙනවා. ඔහු (ඩිවිලියර්ස්) දකුණු අප්‍රිකා කණ්ඩායමේ හොඳම ක්‍රීඩකයා. ඔහු මේ තරගාවලියේදී මෙන්ම මීට වසර කිහිපයක සිට ඒ බව පෙන්වා තිබෙනවා. සිඩ්නි පිටියේදී පන්දු 66කදී කොදෙව්වන්ට එරෙහිව නොදැවී ලකුණු 162 ක් වාර්තා කරමින් කොදෙව්වන් විනාශ කළ ඉනිම ඔහුගේ මතකයේ ඇති. මෑත කාලෙ ඔහුට පන්දු යොමුකිරීම මොනතරම් අමාරුද කියලා මම දන්නවා. අපි ඉන්දියානු ප්‍රිමියර් ලීග තරගාවලියේදී අපි දෙන්නා එක් කණ්ඩායමේ හිටියේ. ඔහුගේ වියරු වැටුණු විවිධ පහරවල් පිළිබඳව මම විශ්මයට පත්වෙලා හිටියේ. ඔහුගේ පාද වඩාත් ඉක්මන්. ඔහු පන්දු යවන්නන් පීඩනයට ලක්කරන්න කිසිම බයක් නෑ. සත්තකින්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් ඔහුගේ පිතිකරණය පිළිබඳව වීඩියෝ දර්ශන නරඹා ඔහුව දවාගන්න සැලසුම් සකස් කරගෙන ඇති.
දකුණු අප්‍රිකාවේ පිතිකරණ ලැයිස්තුව ගත්තාම හෂීම් අම්ලා, ෆෆ් ඩු ප්ලෙසි, ඩේවිඩ් මිලර්, ජේ.පී. දුමිනි ඉන්නවා. ඒ අයට ඔබට දැඩි වේදනාවක් එල්ල කළ හැකියි. එසේම අත්දැකීමෙන් අඩු රිලී රොසෝව් හා ෆර්හාර් බෙහාර්ඩීන්ටත් හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන්. ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් කඩුලු දවාගැනීමට අවධානය යොමුකළ යුතුයි. එසේම පුළුවන් ඉක්මනට ඩිවිලියර්ස් දවාගත යුතුයි. ඔහු එන විට හොඳ පදනමක් එක්ක කඩුලු තිබුණොත් එය ඔහුට බරපතළ දෙයක් කිරීමට අවස්ථාවක්. නමුත් හඹාගෙන යාමේදී ඩිවිලියර්ස් පිටියට පිවිසෙන්නේ ලකුණු 80ට කඩුලු තුනක් ඇති අවස්ථාවකදී නම් එය වෙනස් කතාවක් විය හැකියි.
දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකා කණ්ඩායමේ කුමාර් සංගාකාකාර සීමාකිරීම පිළිබඳව සිතනවා ඇති. මම ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට තරගයට පෙර අවසන් වරට හමුවෙනවා නම් කියන්නේ, ඔවුන් අපට පිත්තෙන් කෙතරම් වේදනාවක් ඇතිකරයිද කියන දේ අමතක කරන්න. අපිටත් ඔවුන්ට එවැනි හානියක් කරන්න පුළුවන්. සමහරවිට ඊටත් වඩා යැයි ඔහු සඳහන් කරයි.
තරගයේ පීඩනයක් තිබෙනවා නම් එය තියෙන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායමේ උරහිස් මතයි. ඒක මම කියන්නෙ හේතු ඇතිවයි. එකක් තමයි දකුණු අප්‍රිකාව පිළිමළුන් පිටුදැකීමේ තරගවලදී දකුණු අප්‍රිකාව අතීතයේ සිට දක්වන දුර්වලතාව ගැන කැමති වුණත් අකමැති වුණත් දෙපැත්තම ඒ ගැන අවධානය යොමු කර ඇති. නමුත් ශ්‍රී ලංකාවට එහිදී පීඩනය බොහෝ ප්‍රමාණයක් පිටතට යනවා. මේ වගේ ලොකු තරගවලදී ශ්‍රී ලංකාව හොඳින් තරග කර තිබෙනවා.
සංගක්කාර හා මහේල ක්‍රීඩා කරන හැම තරගයක්ම ඔවුන්ට අවසන් තරග වෙනවා. මොකද ඔවුන්ගේ විශ්‍රාම ගැනීම නිසා. එය ඔවුන්ට පීඩනයක් කියලා මම හිතන්නෙ නෑ. ඔවුන් වෘත්තීමය වශයෙන් ප්‍රමාණවත් එය හැසිරවීමට. ඒ වගේම ඔවුන් ලෝක කුසලාන තරගාවලියන්හි අවසන් තරග ක්‍රීඩා කර තිබෙනවා. ශ්‍රී ලංකාවට තිබෙන එකම පීඩනය තමයි වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සුවයෙන් නොවීම. අනෙක මැතිව්ස්ට පන්දු යැවීමට නොහැකිවීම.
මේක ලෝකයේ තිබෙන ලොකුම තරගාවලියක්. කණ්ඩායම් දෙකටම ගැටලුවක්. දෙපැත්තටම ලෝක මට්ටමේ ක්‍රීඩකයෝ ඉන්නවා. හැම දෙයක්ම සමානයි. නමුත් මැතිව්ස් කාසියේ වාසිය දිනුවොත් ශ්‍රී ලංකාවට හොඳ වාසියක් තියෙනවා.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට මුරලි සපයන කොළමය පරිවර්තනයකි
පරිවර්තනය - චානක චන්ද්‍රසේකර