නවසීලන්තයට ලකුණු 143 ක ජයක්
ලෝක කුසලාන වාර්තා පොත අලුතින් ලියූ මාටින් ගප්ටිල්ගේ ප්රවේගකාරී පිතිහරඹය හේතුවෙන් නවසීලන්තයේ වෙලිංටන්හිදී අද (21දා) පැවැති සිව්වැනි හා අවසන් අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 143 ක ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත්විය.
නවසීලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 394 ක ඉලක්කයට පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 30.3 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 30.3 පමණි. දැවැන්ත ඉලක්කයක් වෙනුවෙන් ක්රිස් ගේල් වේගවත් ආරම්භයක් ලබාගත්තද, අනෙක් අන්තයෙන් ඔහුට අවැසි සහාය ලබාදීමට කොදෙව් පිතිකරුවන් නොලැබීමෙන් ඔවුනට තරගයේ පරාජය වැළඳ ගැනීමට සිදුවිය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත පිතිකරුවෝ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 ක් පමණක් දැවී ලකුණු 393 ක් රැස්කිරීමට සමත්විය. ප්රතිවාදී පන්දු යවන්නන් සම්පූර්ණයෙන් අසරණ කරමින් ප්රවේගකාරී පිතිහරඹයක නිරත වූ මාටින් ගප්ටිල් පන්දු 163 ක් නොදැවී ලකුණු 237 ක් රැස්කරමින් නවසීලන්ත ඉනිමට ජයවයක් එක්කළේය. ඒ හේතුවෙන් තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමිවිය.
ගප්ටිල්ගේ ඉනිම (නොදැවී 237) ලෝක කුසලාන තරගාවලියක පිතිකරුවෙකු රැස්කළ ඉහලම ඉනිම වෙයි. මෙහි පෙර වාර්තාවට හිමිකම් කියූ ක්රිස් ගේල් මෙවර තරගාවලියේදීම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 215 ක් රැස්කර තිබුණි. කෙසේ නමුත් මෙහි ලෝක වාර්තාවට හිමිකම් කියන ඉන්දියාවේ රෝහිත් ශර්මා (264/ ශ්රී ලංකාවට එරෙහිව) අභිබවායාමට ගප්ටිල්ට නොහැකිවිය.
ක්රික්ඉන්ෆෝ ලකුණු පුවරුව