ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවූ බව කියන වංචා හා දූෂණ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් කළ චෝදනා සඳහා පිළිතුරු ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවත් එහි ප්‍රධාන වගඋත්තරකරු වන නිශාන්ත රණතුංග මහතාත් කටයුතු කර තිබේ.
හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව, ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය පිළිවෙළින් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.
පසුගිය පෙබරවාරි මස 2 වැනිදා මන්ත්‍රීවරයා මේ පිළිබඳව වන පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඉදිරිපත් කළ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සාමූහිකවත්, නිශාන්ත රණතුංග මහතා පෞද්ගලිකවත් උත්තර ලබාදී තිබේ.
අදාළ පැමිණිල්ල සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විමර්ශනයක් කිරීමට මත්තෙන් ප්‍රතිඋත්තර සපයා ඒ පිළිබඳව මාධ්‍යයට කරුණු ඉදිරිපත් කරන්නේ විධායක කමිටුවට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්ට එරෙහිව මහජන මතයක් ගොඩනැගී ඇති බැවින් යයි දෙපාර්ශ්වය ප්‍රතිඋත්තර ලබාදීමේදී පවසා තිබේ.
එසේම චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කරන විමර්ශනයක් සඳහා විධායක කමිටුවේ පූර්ණ සහාය දෙන බව විධායක කමිටුව සඳහන් කරයි.
නිශාන්ත රණතුංග මහතා සඳහන් කරන්නේ ඒ සඳහා පුද්ගල හා ලේඛන සාක්ෂි මත කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් බවයි.ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් අදාළ චෝදනා පත්‍රයේ, 03, 04, 07, 08, 09, 10, 11, 12, 13, 14, 15, 18, 19, 20, 21, 22, 23 හා 24 යන චෝදනා සඳහා උත්තර ලබාදී තිබේ.ලේකම්වරයා පෞද්ගලිකව 03, 04, 05, 06, 09, 16, 17, 18, 19, 20, 21, 22, 23, 25 හා 26 යන චෝදනා සඳහා පිළිතුරු ලබාදී තිබේ.
මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ චෝදනා අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ට ක්‍රීඩකයන් දෙපළක් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉක්මනට විශ්‍රාම ගැනීමට සිදුවූයේ ඉහත සඳහන් කළ පාර්ශ්වයන්ගේ පීඩනය හමුවේ බව හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළ අතර, ඒ සඳහා පිළිතුරු ලබාදෙන ක්‍රිකට් විධායක කමිටුව සඳහන් කරන්නේ එම ප්‍රකාශය සාවද්‍ය බවත්, තමන්ට පීඩනයක් එල්ල වූ බවට සංගා හා මහේල චෝදනා කර නොමැති බවයි. එය නිශාන්ත රණතුංග මහතාද ප්‍රතික්ෂේප කර තිබේ.
2011 ලෝක කුසලානය සඳහා ක්‍රීඩාංගණ ඉදිකිරීම, ක්‍රිකට් ආයතනයට සේවයකයන් බඳවා ගැනීම හා ප්‍රධාන විධායක නිලධාරී වෙනුවට අයි.සී.සී. රැස්වීම් සඳහා ලේකම්වරයා එක්වීම ඇතුළු චෝදනා සඳහා මෙහිදී මාධ්‍යයට පිළිතුරු ලබාදීමට දෙපාර්ශ්වය කටයුතු කර තිබේ.