අවුරුදු හතරේ නීතිය වෙනස් නොවුණහොත් තිලංග සුමතිපාල හා හිටපු ලේකම් නිශාන්ත රණතුංග යන මහත්වරුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා ඉදිරිපත් විය නොහැකි බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
කෙසේ වෙතත් ක්‍රීඩා පනතේ රෙගුලාසි වෙනස් කිරීම සඳහා තමන් කමිටුවක් පත්කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (01දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීම පිළිබඳව පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදීය.
එසේම මෙම පත්කළ අතුරු පාලක කමිටුව දීර්ඝ කාලීන නොවන බවත්, ක්‍රිකට් ආයතනට ලැබෙන මුදල් නිසියාකාරව පාලනය විය යුතු බවත් ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට ගෝඩ් ෆාදර්ස්ලා නොමැති බවත්, එය ජනතාවගේ බවත් අමාත්‍යවරයා එහිදී පවසා සිටියේය.
අතුරුපාලක කමිටුව
ටෙස්ට් ක්‍රීඩකයන්, පරිපාලිකයන් හා වෘත්තීයවේදීන් මේ අතුරු පාලක කමිටුවට පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය 50%කට වඩා වැඩි කාලයක් අතුරු පාලක කමිටුවලින් තමයි පාලනය වෙලා තියෙන්නේ. එයින් සාධාරණීකරණය කරන්නේ නෑ මැතිවරණයක් පවත්වන්නෙ නැතිව අතුරු පාලක මණ්ඩලයක් අවශ්‍යයි කියලා.
සමහර අය ඒත්තු ගන්වන්න හදනවා මේක වැරදියි කියලා. ඒ වගේම අතුරු පාලක කමිටුවල සේවය කරපු මහත්ම මහත්මීන්ට දැන් සදාචාර අයිතියක් නෑ මේක වැරදියි කියලා කියන්න. අතුරු පාලක කමිටුවක් පත්කිරීමට මට අයිතියක් තියෙනවා. මේ අතුරු පාලක කමිටුවට මට ලැබිලා තියෙන ප්‍රතිචාර ධනාත්මකයි. සිදත් වෙත්තමුණි මැතිතුමා ගැන ඉහළ ප්‍රතිචාරයක් තියෙනවා. කමිටුවේ සාමාජිකයන් ගැන ගැටලුවක් නෑ.
මේ මණ්ඩලයේ එක්කෙනෙක්වත් ටී.වී. හිමිකම් සම්බන්ධයෙන් අත ගහන්නේ නෑ. මෙය පත්කළේ ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා, දූෂණ වෙලා තිබෙනවා නම් ඒවා ගැන බලන්න. අපි ඒවට අනුමැතිය දෙන්නේ නෑ. අපේ ජාතික ක්‍රීඩකයන් රටට ගෙනෙන විශාල මුදල් සම්භාරය හරි විදියට පරිපාලනය වෙනවද කියන ගැටලුව අපිට තියෙනවා.
අවුරුදු හතරේ නීතිය
අපිට අවුරුදු හතරක කාලසීමාවේ ප්රශ්නය ආවා. හිටපු ක්‍රීඩා ඇමැතිතුමා මෙය ගැසට් කරලා තිබුණේ. මේ සම්බන්ධයෙන් අපි නීතිපතිතුමාගෙන් උපදෙස් පැතුවා. ඒකමතිකව අපට උපදේශයක් දුන්නා මේ රෙගුලාසිවලින් (ක්‍රීඩා පනතේ) තොරව අපට ක්‍රියා කරන්න බෑ කියලා. ඒකත් අපිට ගැටලුවක්. දැන් මම කමිටුවක් පත්කරලා තියෙනවා ඒ රෙගුලාසි සංශෝධනය කරන්න. මගේ මතයක් තිබෙනවා මැතිවරණවලට යාමෙන් තවත් ගැටලුවක් තියෙනවා කියලා.
නිශාන්ත රණතුංග මහත්තයත්, තිලංග සුමතිපාල මහත්තයත්, ජයන්ත ධර්මදාස මහත්තයත් මැතිවරණයට තරග කරන්න ඉල්ලීම් කරලා තිබුණා. අවුරුදු හතරේ නීතිය ක්‍රියාත්මක කළානම් රණතුංග මහතාටත්, සුමතිපාල මහතාටත් ඉදිරිපත් වෙන්න බැරිවෙනවා. එතකොට ජයන්ත ධර්මදාස මහත්තයට තරග කරන්න පුළුවන්. ඒක මට ප්‍රශ්නයක් නෑ. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති කවුද? ලේකම් කවුද? කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. මට තියෙන්නෙ ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්ක කටයුතු කරන්න.
අතුරු පාලක කමිටුව දීර්ඝ කාලයකට නෙමෙයි
අතුරු පාලක කමිටුව දීර්ඝ කාලයකට පත්කරන්න අදහස් නෑ. මේ අතුරු පාලක කමිටුවට ඉලක්ක තිබෙනවා. අගමැතිතුමත්, ජනාධිපතිතුමත් අතුරු පාලක කමිටුවට සම්පූර්ණ සහාය දෙනවා. අපට අවශ්‍ය වෙන්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් ආරක්ෂා කරන්න.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකයට දැන් චෝදනා කිහිපයක් එල්ලවී තිබෙනවා. ඒවා ගැන අපි සොයා බලන්න අවශ්‍යයි. පළමු විකල්පය අනුව මැතිවරණයට අපි යන්න කැමතියි. හැබැයි මැතිවරණයකින් අපිට ප්‍රතිඵල ලැබෙන්නේ නැත්නම්, මම ක්‍රීඩා ඇමති වශයෙන් මට තීරණයක් ගන්න වෙනවා ඉලෙක්ට්ටඩ්ද ( ඡන්දයෙන් පත්වූ), සිලෙක්ටඩ්ද (තෝරාගත්) කියලා. නමුත් මැතිවරණයට යන්න වාතාවරණයක් හදන්න ඕන.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට කතා කරනවා.
අපිට ටෙස්ට් වරම් ලැබුවට පස්සේ කිසිම ගැටලුවක් නැතිව අපි අයි.සී.සී. එකත් එක්ක කටයුතු කළා. සියලුම ගැටලු හා ප්‍රශ්න අපි සාකච්ඡා මාර්ගයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් අපි ඩේව්ඩ් රිචඩ්සන් (ප්‍රධාන විධායක නිලධාරී) මැතිතුමත් එක්ක කතාකර තිබෙනවා. මම බලාපොරොත්තු වෙනවා ශ්‍රී නිවාසන් (සභාපති) මැතිතුමත් සමගත් මේ ගැන කතා කරන්න. අපි ස්වෛරී රටක්, අපිට නීතියක් තියෙනවා. ඒ නීතිය ජාත්‍යන්තර සමිති සමග යාබදව ගෙන ඒමට අපි කැමතියි. මම පනත ක්‍රියාත්මක කරනවා. පනත ක්‍රියාත්මක කරන්න කොන්දක් මට තියෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාවට ගෝඩ් ෆාදර්ස්ලා නෑ
මාරියෝ කෘසෝ කියලා ප්‍රසිද්ධ ලේඛකයෙක් හිටියා. එයා ලිව්වා ගෝඩ් ෆාදර් කියලා පොතක්. ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ ගෝඩ් ෆාදර්ලා නෑ. මේ ක්‍රිකට් ක්‍රීඩාව අයිති ජනතාවටයි.
වෙනසක් බලාපොරොත්තුවෙනවා
යම්කිසි වෙනසක් බලාපොරොත්තුවෙනවා. තේරීම් කමිටුවේ වෙන්න පුළුවන්, පුහුණුකරුවන් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, ඒ තීරණ ගන්න නිදහස දෙනවා මම අතුරුපාලක කමිටුවට. කිසිම ඇඟිලි ගැසීමකින් තොරව ස්වාධීන තීරණ ගන්න අවස්ථාව තියෙනවා. සමහර තේරීම් ගැන එකඟ නෑ
මම වෘත්තිමය ක්‍රීඩකයෙක් නෙමෙයි. නමුත් ක්‍රිකට් තරග නරඹන පුද්ගලයෙක් ලෙස සමහර තේරීම් ගැන මම එකඟ නෑ. කොච්චර වැරදි තීරණ ගත්තත් නැත්තත් අපි අර්ධ අවසන් පූර්ව තරගයට ආවා. අපේ ඉලක්කය තිබුණේ අවසන් පූර්ව තරගයට යන්න. එදා දවසේ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට මුහුණ දෙන්න අපේ පිතිකරුවන්ට බැරිවුණා. එක තරගයකින් ක්ෂේත්රයම නිගමනය කරන්න බෑ. කොහොම වුණත් මෙය අනාගතයේදී ඇතිවෙන්න මම ඉඩතියන්නේ නෑ.
නුෂ්කි මොහොමඩ් මහතා නැවතත් පත්කිරීම
නුෂ්කි මොහාමඩ් මහත්මයා ගැන මට විශ්වාසයක් තියෙනවා. ඒ වගේම අතීතයේ පාලක මණ්ඩලය හා සම්බන්ධතාවක් තිබිය යුතු පුද්ගලයෙක් මේක ඇතුළේ ඉන්න අවශ්‍යයි. අතීතයේ වූ දේවල් ඔහු දන්නවා. ක්‍රිකට් පාලක මණ්ඩලය පාලනය කළේ කවුද? නියෝග කොහෙන්ද ලැබුණෙ කියලත් අපි බලන්න ඕන.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් මෙන්ම, විශේෂයෙන්ම සී.එස්.එන්. ගනුදෙනුව ගැන වාර්තාවක් ලැබෙනවා.
කාන්තා ක්‍රිකට් ලිංගික අල්ලස් සිද්ධිය
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාසයක් ඇතුළත වාර්තාවක් ලබාගෙන ක්‍රියාකරන්න මම බලාපොරොත්තු වෙනවා. මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා අතුරු කමිටු සාමාජිකයෝද සහභාගී වූහ.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ