ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය අතුරු කමිටුවක් යටතට පත්කිරීමට සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා කටයුතු කළේය. ඒ පිළිබඳ ගැසට් නිවේදනය පසුගිය 27 වැනිදා ප්‍රකාශයට පත්කොට තිබෙන අතර, එහි සභාපතිවරයා ලෙස සිදත් වෙත්තමුණි මහතා පත්කොට තිබේ. අතුරු කමිටුවේ කාලසීමාව හෙට (01දා) සිට ආරම්භ වෙයි. අතුරු කමිටුව පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඊයේ (30දා) කොළඹදී පැවැති උත්සවයකදී අදහස් දැක්වීය. එහිදී ඔහු සඳහන් කළේ දූෂණ හා චංචා සෙවීමෙන් පසුව නිලවරණය පවත්වන බවයි.
එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විකාශන කටයුතු සී.එස්.එන්. නාළිකාවට ලබාදීම ගැටලුවක් බවද ඔහු සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා, "ක්‍රිකට් මණ්ඩලයට අන්තර් කමිටුවක් දැම්මා. ඇයි? ක්‍රිකට් මණ්ඩලය ඉන්ජිනේරු සංස්ථාවට රුපියල් මිලියන 500ක් ගෙවන්න තියෙනවා. ඒක ගෙවන්න සල්ලි නැත්නම් මුදල් ඇමතිතුමාටයි ඒක ගෙවන්න තියෙන්නේ. අපේ ක්‍රිකට් තරගවලට (විකාශය වෙනුවෙන්) ලැබිය යුතු සම්පූර්ණ මුදල ලබාගන්නේ නැතිව ඇයි සී.එස්.එන්. එකට දුන්නේ (විකාශන අයිතිය) කියන එකත් විශාල ප්‍රශ්නයක්.
ඉතින් මේ කමිටුව මම පත්කරන්න තීරණය කළේ අපිට කෙටි කාලයක් ඕන මේ දූෂණ ගැන හොයන්න. අපි පත්කරපු කාර්යාලයට ක්‍රිකට් මණ්ඩලයේ දූෂණ ගැන හොයන්නත් ඕන. මේ ක්‍රිකට් ක්‍රීඩාංගණ හදන්න ක්‍රිකට් මණ්ඩලයට ආණ්ඩුවෙන් සල්ලි දුන්නා. නමුත් ඒ මුදල් ඉංජිනේරු සංස්ථාවට දුන්නේ නෑ. අපේ ක්‍රීඩා කතෘ අහනවා මොකද මේක විසුරුවා හැරියේ කියලා. අපෙන් අහන අයට මං අහන්නෙ පිස්සුද කියලා. ඇයි මේක මීට කලින් විසුරුවා හැරියේ නැත්තේ කියලා.
මේ ගොල්ලෝ ක්‍රීඩකයෝ දෙන්නෙක් තුන්දෙනෙක් අල්ලගෙන පත්තරේට ඒවා ලිය ලිය ඉන්නවා. මහ අපරාධයක්. පළවෙනි පිටුවේ තියෙනවා කරන දූෂණ ගැන. අන්තිම පිටුවේ දූෂකයා සාකච්ඡා කරනවා. ඔය මිනිස්සුන්ට (දූෂණ නිලධාරීන්) අපි ආපහු ඡන්දයක් තියන්න දුන්නොත් මේක (දූෂණ) හොයාගන්න බෑ. හෙව්වායින් පස්සේ ඕන ඡන්දයක් තියන්න. පුදුමයක්ද අපි ක්‍රිකට් ක්‍රීඩාව පැරදෙන එක. හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදනවා ඒක පාවිච්චි කරලා නෑ." යැයි සඳහන් කළේය.
මේක ප්‍රජාතන්ත්‍රවාදයද ? - විධායක කමිටු සාමාජිකයෝ අසති
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු පාලක කමිටුවක් පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයන් බහුතරයක් සිය අකමැත්ත ප්‍රකාශ කර තිබේ. මෙය ප්රජාතන්ත්රවාදය දැයි ඔවුහු ප්‍රශ්න කර සිටිති.
"දැන් 'යහපාලනය', 'වහ පාලනයක්' වෙලා තියෙන්නේ. මේක තනිකරම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට එරෙහිව යන ක්‍රියාමාර්ගයක්. ප්රජාතන්ත්රවාදයට විරුද්ධව යන එකක්. මේ අය ඇවිල්ලා තියෙන්නේ ඡන්දෙන් නෙමෙයිද? ඡන්දේ කියන්නෙ මිනිස්සුන්ගේ අයිතියක්. මේකට විධායක කමිටුව සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේක පිටුපස තියෙන්නේ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරයේ රූපවාහිනී විකාශන ගනුදෙනුවක්" යැයි ඒ පිළිබඳව අදහස් දැක්වූ විධායක කමිටු සාමාජිකයෙක් සඳහන් කළේය.
නව අතුරු කමිටුව
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත්කළ අතුරු කමිටුවේ සභාපති ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි මහතා පත්කොට තිබේ. එහි ලේකම් ලෙස ප්‍රකාශ් ශාෆ්ටර් මහතාත්, ලෙස්ලි විජේවර්ධන මහතා භාණ්ඩාගාරික ලෙසත් නම්කොට තිබේ.
උප සභාපතිවරුන් ලෙස කුෂිල් ගුණසේකර, කපිල විජේගුණවර්ධන යන මහත්වරුන් පත්කොට තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු භාණ්ඩාගාරික නුෂ්කි මොහොමඩ්, ජයනන්ද වර්ණවීර, නීතිඥ ප්‍රසන්න ජයවර්ධන හා දුමින්ද හුලංගමුව යන මහත්වරුන් කමිටු සාමාජිකයන් ලෙස නම්කොට ඇත. මෙම කමිටුවේ කාලසීමාව හෙට (01දා) සිට බලපැවැත්වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අප්‍රේල් මස 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඒ සඳහා නාමයෝජනා කැඳවීම ඊයේ (30දා) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබිණි.
අතුරු කමිටු එපා - ක්‍රීඩා හා පුරවැසි සංවිධාන
අතුරු කමිටු ප්‍රතික්ෂේප කර ක්‍රිකට් ක්‍රීඩාවේ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට නායකත්වය ලබාදෙන ලෙසත්, ක්‍රිකට් ක්‍රීඩාවේ යහපාලනය ස්ථාපිත කිරීම සඳහා ක්‍රිකට් පරිපාලනයට පැමිණෙන ලෙසත් ක්‍රීඩා සහ පුරවැසි සංවිධාන වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලා සිටින බව වරාය හා නාවික අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
විශ්වවිද්‍යාල ආචාර්ය සංසදය, සමස්ත ලංකා ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා පාසල් පුහුණුකරුවන්ගේ සංගමය, සේව් ද ස්පොර්ට්ස් ඉන් ශ්‍රී ලංකා සංවිධාන වෙනුවෙන් ජාතික නිදහස් ක්‍රීඩා පදනම අමාත්‍යවරයාට මෙම ලිපිය යොමුකර තිබේ.