නවසීලන්ත ක්රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක කයිල් මිල්ස් අන්තර්ජාතික ක්රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත. ඊයේ (31දා) නවසීලන්ත දඟ පන්දු යවන ක්රීඩක ඩැනියෙල් විටෝරි අන්තර්ජාතික ක්රිකට් පිටියට සමුදීමත් සමගම මිල්ස්ද සිය තීරණය මෙලෙස ප්රකාශයට පත්කර ඇත.
සිය සමුගැනීම ප්රකාශයට පත්කරමින් මිල්ස් පැවසුවේ, පසුගිය වසර 14 ක කාලයක් තුළ නවසීලන්තය වෙනුවෙන් ක්රීඩා කිරීමට ලැබීම පිළිබඳ අතිශය සතුටට පත්වන බවයි.
"මට ඒ කාලය පිළිබඳ ගොඩක් මතක් වෙයි. නමුත් මෙය තමයි මගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් කාලය කැප කිරීමට ඇති අවස්ථාව. ඒ වගේම ඉදිරියේදී වත්මන් නවසීලන්ත කණ්ඩායමේ සාර්ථකත්වය පිළිබඳව මට ලබාදිය හැකි සහයෝගය පිළිබඳවත් අවධානය යොමු කරනවා." මිල්ස් වැඩිදුරටත් පැවසීය.
37 හැවිරිදි මිල්ස් 2001 වර්ෂයේදී පාකිස්තානයට එරෙහිව සිය ප්රථම අන්තර්ජාතික ක්රිකට් තරගයට ක්රීඩා කළේය. ඔහු කණ්ඩායමේ ප්රධාන වේගපන්දු යවන්නා ලෙසද කාලයක් ක්රීඩා කළ අතර, ලෝක කුසලාන ත්රිත්වයකට ද ක්රීඩා කර ඇත. එමෙන්ම ඩැනියෙල් විටෝරිට පසු කණ්ඩායමේ මේ දක්වා වැඩිම කඩුලුලාභියා වන්නේද ඔහුය. මිල්ස් මෙවර ලෝක කුසලාන අනුශූරයන් වූ නවසීලන්ත සංචිතය සඳහාද නම් කර තිබූ නමුත් එකදු තරගයකට හෝ ක්රීඩා නොකළේය.