තරගාවලිය නිමාවීමට තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර තරගාවලිය ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. දෙරට අතර හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේ අද (09දා) පැවැති තුන්වැනි එක්දින තරගයෙන් කඩුලු හයක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර, ඒ සමග තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තරග 3-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔවුන්ට හැකිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 243 ක පහසු ඉලක්කය තරගයේ 44.1 වැනි පන්දුවේදී පසුකරයාමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සමත්විය.ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ ආරම්භක පිතිකරු ශිකර් දවාන් ලකුණු 91ක් රැස්කළේය. ඔහුට අමතරව නායක විරාට් කෝලි තම 32 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 53 ක් රැස්කිරීමට සමත්විය. කෙසේ නමුත් ශ්‍රී ලංකා ඉනිම නගාසිටුවීම සඳහා තම එක්දින ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩඉමක් පසුකරමින් ශතක ඉනිමක් ක්‍රීඩාකළ මහේල ජයවර්ධන තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීම තීරණය කළේය. කෙසේ නමුත් තරග පහකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරග දෙක පරාජයවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක මෙම තරගයේ පන්දුවාර 48.1ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 242ක් පමණි.
තිලකරත්න ඩිල්ශාන් සමගින් කුසල් ජනිත් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, පසුගිය තරගයේදී මෙන් තරගයේදීද කුසල්ගෙන් ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් නොලැබිණි. උමේෂ් යාදව් යොමුකළ පළමු පන්දුවාරයේ අවසන් පන්දුවේදී ලකුණු 04ක් රැස්කරගෙන සිටි කුසල්ට කඩුලු රකින ක්‍රීඩක රිද්හිනම් සහ අතට උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්වීමට සිදුවිය. කුසල් ක්‍රීඩාකළ අවසන් ඉනිම් දහය තුළ රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 162ක් වන අතර, එහි ඉනිම් තුනකදීම ඔහු ලකුණු නොලබා දැවීගොස් ඇත. කුසල්ගෙන් පසු එක්වූ කුමාර් සංගක්කාරටද වැඩිවේලාවක් කඩුල්ලේ රැදීසිටීමට නොහැකිවූ අතර, යාදව්ගේ දෙවැනි පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම ස්ලිප්හි පන්දු රකින රවිචන්ද්‍රන් අශ්වින් අතට උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්වීමට සංගක්කාරට සිදුවිය.
කෙසේ නමුත් මුළු ලකුණු 07දී කඩුලු දෙකක් දැවී අසීරු තත්ත්වයක තිබියදී එක්වූ මහේල ජයවර්ධන, ඩිල්ශාන් සමගින් එක්ව ලකුණු 105 අසීරු සබඳතාවක් ගොඩනගා ශ්‍රී ලංකා ඉනිම මුළු ලකුණු 112ක් දක්වා රැගෙන ආවේය. එම සබඳතාව හමුවේ ඉන්දීය පන්දු යවන්නන් යම් පීඩනයකට හසුවූ අතර, නායක විරාට් කෝලි එම බිඳදැමීමට පන්දු යවන්නන් හය දෙනෙකු යොදාගත්තද එය සාර්ථක නොවීය. ඒ හේතුවෙන් දකුණත් පිටදඟ පන්දු යවන අම්බති රයිදු කැඳවූ අතර, එවර සාර්ථක ඵල අත්කරගැනීමට කෝලිට හැකිවිය. තම 39 වැනි එක්දින අර්ධ ශතකය ඊයේ (09දා) වාර්තා කළ ඩිල්ශාන්, රයිදුගේ පන්දුවකට ලකුණු 53ක් රැස්කර සිටියදී ඉදිරියට පැන අපරීක්ෂාකාරී පහරක් එල්ලකිරීමට යාමේදී අජින්ක්‍යා රහානේ අතට උඩපන්දුවක් ලබාදී දැවී ගියේය.
ඉන් අනතුරුව එක්වූ ඇන්ජලෝ මැතිව්ස්ට (10) මහේල සමගින් සිව්වැනි කඩුල්ලට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 32ක සබඳතාවක් පමණි. ලකුණු ලබාගැනීමේ වේගය වැඩිකිරීම සඳහා පවර් ප්ලේ ලබාගත් පළමු පන්දුවාරයේදීම (පන්දුවාර 30) ආක්ෂාර් පටෙල්ගේ පන්දුවකට විරාට් කෝලි අතට උඩපන්දුවක් ලබාදුන් මැතිව්ස්ගේ ඉනිම අවසන්විය. මුළු ලකුණු 144දී මැතිව්ස් දැවීයාමෙන් පසු පිටියට එක්වූ අශාන් ප්‍රියන්ජන් (02), චතුරංග ද සිල්වා (02) හා තිසර පෙරේරා (01) පිතිකරුවන්ගේ ඉනිම්ද කෙටි ඉනිම්වලට සීමාකිරීමට ඉන්දීය පන්දු යවන්නෝ වගබලාගත්හ.
නමුත් තම පරිණත බව මනාව උපයෝගී කරගත් මහේල, අටවැනි කඩුල්ල ලෙස එක්වූ සීක්කුගේ ප්‍රසන්න සමගින් ලකුණු 67ක සබඳතාවක් ගොඩනගා ශ්‍රී ලංකා ඉනිම 225ක් දක්වා රැගෙන ආවේය. දෙවැනි කඩුල්ල බිඳවැටීමෙන් පසු පන්දුවට පහරදීමට පැමිණි මහේල අටවැනි කඩුල්ල ලෙස දැවීයන විට ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 118ක් එක්ළේය. කෙසේ නමුත් එම දැවීයාමෙන් පසු ඉනිම කඩාවැටුණ අතර, පන්දුවාර 48.2කදී ලකුණු 242කට ශ්‍රී ලංකා ඉනිම අවසන්විය.
මෙම තරගයේදී සුරාජ් රන්දීව් හා ධම්මික ප්‍රසාද් ඉවත්කර තිබූ අතර, ඒ වෙනුවට නුවන් කුලසේකර හා චතුරංග ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබුණි. ඊට අමතරව රවින්ද්‍ර ජඩේජා වෙනුවට ධවාල් කුල්කානි කැඳවා ඉන්දීය කණ්ඩායමේද එක් වෙනස්කමක් කර තිබුණි.
මෙම තරගයේ විශේෂතා
විරාට් කෝලි මෙම තරගයේදී එක්දින ලකුණු 6000 සීමාව පසුකිරීමට සමත්විය. එම කඩඉම අඩුම ඉනිම් (136) සංඛ්‍යාවකින් පසුකළ ලොව පළමු පිතිකරුවාද ඔහු වෙයි. මීට පෙර බටහිර ඉන්දීය කොදෙව්හි විවියන් රිචඩ්ස් ඉනිම 141කදී මෙම දක්ෂතාව දක්වා තිබුණි.
ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී එක්දින තරගාවලි නවයකට සහභාගීවී ඇත. ඉන් කිසිදු තරගාවලියක් ජයගැනීමට ශ්‍රී ලංකාවට නොහැකිවී ඇති අතර, එක් තරගාවලියක් පමණක් ජයපරාජයෙන් තොරව අවසන්වී ඇත.
2014 වසරේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට විරාට් කෝලිට අද (09දා) හැකිවිය. මේ වනවිට කෝලි ලකුණු 849 ක් රැස්කරගෙන සිටින අතර, එහි දෙවැනි ස්ථානයේ පසුවන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 848ක් රැස්කරගෙන සිටියි.
මහේල ජයවර්ධන එක්දින ලකුණු 12000 සීමාව පසුකිරීමට සමත්විය. එම කඩඉම පසුකළ ලොව පස්වැනි පිතිකරුවා මෙන්ම තුන්වැනි ශ්‍රී ලංකා පිතිකරුවාද මහේල වෙයි. සචින් තෙන්ඩුල්කාර් (18426) එහි ඉදිරියෙන් පසුවේ. රිකී පොන්ටින් (13704), සනත් ජයසූරිය (13430) හා කුමාර් සංගක්කාර (12918) මීට පෙර මෙම කඩඉමට ළඟාවූ පිතිකරුවෝ වෙති.
මහේල තම 17 වැනි එක්දින ශතකය වාර්තා කිරීමට සමත්වූ අතර, ඩිල්ශාන් හා මහේල ශතක 17 බැගින් රැස්කර වැඩිම ශතක රැස්කළ ශ්‍රී ලංකා පිතිකරුවන් අතර තෙවැනි ස්ථානයේ පසුවෙයි. ශතක 28 රැස්කර ඇති සනත් ජයසූරිය වැඩිම ශතක රැස්කර ඇති ශ්‍රී ලංකා පිතිකරුවා වේ.
ශිකර් දවාන් එක්දින ලකුණු 2000 සීමාව පසුකිරීමට මෙම තරගයේ සමත්විය. ඉනිම 48කදී එම කඩයිම පසුකළ දවාන් අඩුම ඉනිම් සංඛ්යාවදී එම සීමාව පසුකළ පළමු ඉන්දීය පිතිකරුවා මෙන්ම ලොව සිව්වැනි පිතිකරුවා වෙයි.
මහේල ඉන්දියාවට එරෙහිව වාර්තාකළ සිව්වැනි ශතකය මෙය වේ. රිකී පොන්ටින් (6) හා ක්‍රිස් ගේල් (5) ඉන්දියාවට එරෙහිව වැඩිම ශතක රැස්කළ පිතිකරුවෝ වෙති.
කුමාර් සංගක්කාර ඉන්දියාව හමුවේ පළමු පන්දුවෙන්ම දැවීගිය දෙවැනි අවස්ථාව මෙයවෙයි. ඊට අමතරව මෙම වසරේදී පාකිස්තානය හමුවේද, 2001 වසරේදී නවසීලන්තය හමුවේ පළමු පන්දුවෙන්ම දැවීගොස් ඇත.