සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර අද (06දා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රවිෂ්ට වන්නේ අඩියක් පසුපස හිඳිමිනි. එහෙයින් පීඩනය ඇත්තේ ශ්‍රී ලංකාවටය. තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීමට අද තරගය ජයග්‍රහණය කිරීම වැදගත්ය. එසේ නොවුණහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවන පීඩනය වැඩිවනු ඇත.
එක්දින ලෝක කුසලාන තරගාවලියට පෙර තවත් තරග විශාල සංඛ්‍යාවක් ඇති බැවින් ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් මෙම තරගාවලියේ දී කලබලවීම නුවණට හුරු නැත. අවශ්‍යව ඇත්තේ ඒ සඳහා සුදුසු කණ්ඩායමක් නිර්මාණය කරගැනීමට මෙම සංචාරය සහ එංගලන්ත සංචාරය යොදා ගැනීමයි. එමෙන්ම එම තෝරාගන්නා කණ්ඩායම නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී නිවැරදි රිද්මයට අවතීර්ණ වීම ලෝක කුසලාන තරගාවලියේදී පෙරළියක් සිදුකිරීමට වැදගත්ය. තවද ඉන්දියාව මාධ්‍ය හරඹ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පිම්බීමේ උත්සාහයක නිරතව සිටිනු දැකගත හැකිය.
ඔවුන් එසේ කරනු ලබන්නේ ශ්‍රී ලංකාවට ඇති ආදරයට නොව, ඔවුන්ගේ ඉලක්කයන් සපුරා ගැනීමටය. එබැවින් එවැනි මාධ්‍ය හරඹවලින් ගැලවීම බලධාරීන්ගේ මෙන්ම ක්‍රීඩකයන්ගේද වගකීමකි.
පළමු එක්දින තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් සිය කාර්ය නිසි අයුරින් ඉටු නොකිරීම කණ්ඩායමේ පරාජයට හේතුවක් වූ බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේය. එමෙන්ම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී සාර්ථක ආරම්භයක් නොලැබීම පරාජයට ප්‍රධාන හේතුවක් වූ බවද ඔහු සඳහන් කර සිටියේය. ලකුණු 360 ක් වැනි විශාල ඉලක්කයක් පසුපස හඹා යෑමේ දී සාර්ථක ආරම්භයක් ලබාගැනීම ඉතා වැදගත්ය. එසේ නොවුණහොත් කණ්ඩායමට එල්ලවන පීඩනය වැඩිය. ලකුණු පසුපස හඹායෑමේ දී අවශ්‍ය කරන වේගය නොමැතිව කඩුලු අතැතිව තිබුණද පලක් නොමැත. එබැවින් ආරම්භක පිතිකරුවන් ප්‍රතිවාදී පන්දු යවන්නන් පීඩනයට හසුකර ගැනීමට උත්සාහ කළ යුතුය.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගෙන් පළමු තරගයේදී දිස්වූ මන්දගාමී ආරම්භය කණ්ඩායමට පීඩනයක් ඇති කරවන්නක් බවට පරිවර්තනය වෙමින් පවතී. විශේෂයෙන්ම ඩිල්ෂාන් ද මන්දගාමී පිතිකරණයක නියැළීම කණ්ඩායමට අවාසියකි. මේ වනවිට ඩිල්ෂාන්ගේ රිද්මයද ක්‍රමක්‍රමයෙන් ගිලිහෙමින් තිබෙන බැවින් ඩිල්ෂාන් සිය සුපුරුදු ආක්රමණකාරී පිතිකරණ රටාවට අවතීර්ණවීම කණ්ඩායමට වැදගත්ය. එසේ සිදුනොවන්නේ නම් ඩිල්ෂාන් සමග ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන තරංගට හෝ කුසල්ට අනිවාර්යය පන්දුවාර කිහිපයේ දී ප්‍රතිවාදී පන්දු යවන්නන්ට ප්‍රහාරය දියත් කිරීමට ඉදිරියට පැමිණීම කළ යුතුව ඇත.
අද තරගය පැවැත්වෙන අහමදාබාද්හි සර්දාර් පටෙල් තණතීරුව ලකුණු ඇති තණතීරුවකි. අවසන්වරට මෙහි එක්දින තරගයක් පවත්වා ඇත්තේ 2011 වසරේදීය. එම තරගයෙන් ලකුණු 16ක ජයක් හිමිකර ගැනීමට බ.ඉ. කොදෙව් කණ්ඩායමට හැකිවිණි. ප්‍රථමයෙන් පන්දුවට පහරදෙමින් ඔවුන් ලබාගත් ලකුණු 260 ආරක්ෂා කරගැනීමට කොදෙව් පන්දු යවන්නනෝ සමත් වූහ. එබැවින් තරගයක් ලබාදීම සඳහා ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්නේ නම් අඩුම වශයෙන් ලකුණු 280 සීමාවටවත් පැමිණීමට ශ්‍රී ලංකා පිතිකරුවන් උත්සාහ කළ යුතුය.
2010 වර්ෂයේදී මෙම තණතීරුවේදී කඩුලු 2ට ලකුණු 365 ක් රැස් කිරීමට ද ද.අප්‍රිකානුවන්ට හැකිවිණි. එම තරගයේ දී ජැක් කාලිස් සහ ඒ. බි. ඩිවිලියස් නොදැවී ශතක වාර්තා කළහ. එමෙන්ම පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියානුවන් පන්දුවාර 44.3 දී සියලු දෙනා දැවී ලකුණු 275ක් රැස් කිරීමට සමත් විය. එබැවින් සර්දාර් පටෙල් තණතීරුව පිතිකරුවන්ට ලකුණු ඇති තණතීරුවකි.
කෙසේ වෙතත් පළමු තරගයේ දී දුටු දුර්වල පන්දු රැකීම ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසියකි. එබැවින් ලැබෙන අවස්ථාවක් රැකගනිමින් ඉන්දියානුවන් පීඩනයට හසුකර ගැනීම ඉතා වැදගත්ය. එමෙන්ම අවස්ථා එකක් හෝ දෙකක් ගිලිහීම තරගය අතහැර දැමීමට තරම් හේතුවක් නොවන බවද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මතකයේ තබාගත යුතුය. විශේෂයෙන් වෘත්තීය ක්‍රීඩකයන්ගෙන් එවැනි තත්ත්වයක් දැකගැනීමට ලැබීම ගැටලුවකි. පළමු තරගයේ දී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන්ද එම දුර්වලතාව දැකගත හැකිවිය. එය කණ්ඩායමට පීඩනයකි.
ඉන්දීය කණ්ඩායම දෙස අවධානය යොමු කරන්නේ නම් පළමු තරගයේ දී සාර්ථක නොවු විරාත් කෝලි සහ බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලංකාව හමුවේ සාර්ථකවන සුරේෂ් රයිනා අද තරගයේද ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනයක් එල්ලකිරීමට වැඩි අවස්ථාවක් ඇත. රයිනා මෙන්ම කෝලිද හොඳ රිද්මයක සිටින බැවින් ඔවුන් දෙදෙනා එකවර සාර්ථක වුවහොත් තරගය ජයගැනීම අපහසුවනු ඇත. එමෙන්ම අාබාධයකට ලක්වූ අරොන්ගේ ස්ථානයට බිනී ඇතුළත් කර ඇත. අරොන්ගේ ස්ථානය හැරෙන්නට ඉන්දීය කණ්ඩායමේ වෙනසක් සිදුවනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. තරගය ශ්‍රී ලංකා වේලාෙවන් ප.ව. 1.30ට අාරම්භ වීමට නියමිතය.
ඉන්දීය සංචිතය
01.විරාත් කෝලි (නායක), 02. ශිකර් දවාන්, 03. අජින්ක්‍යා රහානේ, 04. සුරේෂ් රයිනා, 05.අම්බති රයිදු, 06. රිද්දිමාන් සහා, 07. රවිචන්ද්‍රන් අශ්වින්, 08. රවින්ද්‍ර ජඩේජා, 09. උමේෂ් යාදෙව්, 10.ඉෂාන්ත් ශර්මා, 11.අමිත් මිශ්රා, 12.මුරලි විජේ, 13 ස්ටුවර්ට් බිනී, 14.ආක්ෂාර් පටෙල්, 16.දවාල් කුල්කර්නි
ශ්‍රී ලංකා සංචිතය
01.ඇන්ජලෝ මැතිව්ස් (නායක), 02. කුසල් ජනිත් පෙරේරා, 03. තිලකරත්න ඩිල්ශාන්, 04. උපුල් තරංග, 05. කුමාර් සංගක්කාර, 06. මහේල ජයවර්ධන, 07. අශාන් ප්‍රියන්ජන්, 08. නිරෝෂන් දික්වැල්ල, 09. තිසර පෙරේරා, 10. නුවන් කුලසේකර, 11. ධම්මික ප්‍රසාද්, 12. ළහිරු ගමගේ, 13. චතුරංග ද සිල්වා, 14. සීක්කුගේ ප්‍රසන්න, 15. සුරාජ් රන්දීව්