ක්‍රිකට් ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කරන්න උපදෙස් දීලා නෑ
ක්‍රිකට් ආයතනය ආයෙත් ට්‍රැක් එකෙන් පනිනවා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් එහි ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු නොකරන්නේ නම් විධායක කමිටුව එය නිවැරදි කරගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඇමතිවරයා මෙම අදහස් පැවසුවේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ක්‍රීඩා සමාජවල කටයුතු කිරීම පිළිබඳව ඇමතිවරයාගේ ස්ථාවරය කුමක්දැයි යනුවෙන් 'අද' කළ විමසුමකට ප්‍රතිචාර දක්වමිනි.
"ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කරනවානම් එය ක්‍රිකට් ආයතනය විසින් නිවැරදි කර ගත යුතුයි. සභාපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවේ සමහර ඒවා වැරදි තිබුණා. ක්‍රීඩා පනතට විරුද්ධව, ක්‍රිකට් ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කරන්න කියලා අපි උපදෙස් දීලා නෑ. එහෙම වැරදි තිබෙනවානම් එය ක්‍රිකට් ආයතනය හදාගත යුතුයි. එය ඔවුන්ගේ වගකීමක්. කවුරුහරි මට ඒ ගැන පැමිණිල්ලක් කළොත් එය නිවැරදි කරන්න කියලා මට කියන්න පුළුවන්." යැයි අමාත්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත් ක්‍රිකට් සභාපතිවරයා ඉදිරිපත් කරන ලදුව විධායක කමිටුව විසින් ස්ථිර කළ යෝජනාවලියේ එම කරුණ අන්තර්ගතව තිබුණි. නමුත් එම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කිරීමට ඇමතිවරයා ගත් ක්‍රියාමාර්ගය පිළිබඳවද අප ඔහුගෙන් ප්‍රශ්න කළෙමු.
"ප්‍රධාන විධායක නිලධාරියාට බලය දුන්නා කියලා අපට ලෝක කුසලානය දිනන්න බෑනේ. මම ක්‍රිකට් ආයතනයට මුල ඉඳලම කිව්වේ දක්ෂ විධායක නිලධාරියෙකු ගන්න කියලයි. මම හිතන්නෙ නෑ දැන් ඉන්න විධායක නිලධාරියාට මේ කාර්යභාරය කරන්න පුළුවන් වෙයි කියලා. මේ වෙලාවේ මගෙ ඉලක්කය ලෝක කුසලානය. මම කිව්වේ මේ ලියුම අයින් කරන්න නෙමෙයි තාවකාලිකව පැත්තකින් තියලා ලෝක කුසලානය ඉලක්ක කරගන්න කියලා. මම කිසිසේත්ම පිළිගන්නෙ නෑ විධායක නිලධාරියාට බලය දුන්නා කියලා අපට ලෝක කුසලානය දිනන්න පුළුවන් වෙයි කියලා. "
එසේම ක්‍රිකට් ආයතන ලාභ ලබන තත්ත්වයට පැමිණෙමින් තිබෙන විට වාහන අටක් මිලදී ගැනීමට කෝටි 4ක් වැය කිරීම අත්‍යවශ්‍ය කරුණක් නොවන බවත්, ඒ හරහා ක්‍රිකට් ආයතන නැවතත් සිය මාවතෙන් පිටතට ගමන් කරමින් සිටින බවත් ඇමතිවරයා පැවසීය.