රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සමග සාකච්ඡා කර ක්‍රිකට් ආයතනය පරිපාලනය කළ යුතු ආකාරය පිළිබඳ යෝජනා හයක් ඔවුන්ට ඉදිරිපත් කළ බවත්, එම යෝජනා සියල්ලන්ට අනුව කටයුතු කිරීමට ඔවුන්ගේ එකඟතාව ලැබුණු බවත් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ හා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි කටයුතු පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවකදීය.
"ක්‍රිකට් ආයතනය පරිපාලන කළ යුත්තේ කෙසේද කියලා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවත් සමග සාකච්ඡා කළා. එහිදී මම ඔවුන්ට යෝජනා හයක් ඉදිරිපත් කළා. එම සියල්ලන්ට අනුව කටයුතු කිරීමට ඔවුන් එකඟ වුණා." යැයි අමාත්‍යවරයා පැවසීය.
ක්‍රිකට් නිලවරණය කල්දමන ලෙස තමන්ට ඉල්ලීමක් ලැබී තිබෙන බවත්, නොබෝ දිනකින් පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලිය ආරම්භවන හෙයින් එම ඉල්ලීම පිළිබඳව සලකා බලන බවද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.
කෙසේ නමුත් ක්‍රිකට් නිලවරණය හැරෙන්න සෙසු ක්‍රීඩා සංගම්හි නිලවරණ තමාගේ ප්‍රතිපත්ති අනුව මාර්තු 31 වැනිදාට ප්‍රථම අවසන් කළයුතු බව හෙතෙම පවසා සිටියේය.
"ඉදිරියේදී ලෝක කුසලාන තරගාවලිය ආරම්භවන නිසා, ක්‍රිකට් නිලවරණය කල්දමන ලෙස ඉල්ලීමක් ලැබී තිබෙනවා. 2007 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය වර්ෂාව නිසා මග නතර කළා. නමුත් මගේ පුද්ගලික මතය නම් එදිනට පසුදින තරගය පැවැත්වූවානම් ප්‍රතිඵලය මීට වඩා වෙනස්වන්න තිබුණා. නමුත් පරිපාලකයන් නිවැරදී තීරණයක් එදින ගත්තෙ නැහැ. එමනිසා මෙම නිලවරණයෙන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියේදී අයහපත් බලපෑමක් සිදුවේවි යන නිගමනය මත ක්‍රිකට් නිලවරණය පමණක් කල්දැමීමට සිදුවෙයි".
ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ වෙනසක් සිදු නොවන බවත්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් තනතුරට නව පුද්ගලයෙකු මේ වනවිට තෝරාගෙන සිටින බවත් ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේය.
මෙම අවස්ථාවට සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.