පළමු තරගයේදී දැක්වූ දක්ෂතාව ඉදිරියට පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවත් තරගාවලියේදී අවශ්‍ය ක්‍රීඩකයන් පමණක් අත්හදා බැලීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
මැතිව්ස් මේ බව සඳහන් කළේ, ඛෙත්තාරාම පිටියේ පැවැති පළමු එක්දින තරගයෙන් පසුව පෙරේදා (26දා) පැවැති මාධ්‍යය හමුවකදීය.
"ඉන්දීය තරගාවලියේදී අපි හොඳින් ක්‍රීඩා කළෙ නෑ කියලා පිළිගන්නවා. නමුත් මේ තරගයෙදී කණ්ඩායමේ විශාල වර්ධනයක් පෙන්න තිබුණා.
පිතිකරණය, පන්දු යැවීම, පන්දු රැකීම හොඳ තත්ත්වයේ තිබුණා. අපිට තරග හයක් තියෙනවා. ඒ තරගවලදීත් මේ දක්ෂතාව ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
අපි ගොඩක් අත්හදා බැලීම් මේ තරගාවලියේදී කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. අවශ්‍ය ක්‍රීඩකයන් පමණක් යොදාගන්න බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩකයන් 20ක් 25ක් විතර අත්හදා බලන්න අපි සූදානම් නෑ. " යැයි හෙතෙම සඳහන් කළේය.
පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය හොඳ මට්ටමක පැවැතුන බවත් මැතිව්ස් මෙහිදී අනාවරණය කළේය.
ඡායාරූපය ශාන්ත රත්නායක
"කුසල් හොඳින් පන්දුවට පහර දුන්නා. අපට සබඳතා අවශ්‍ය වුණා. මහේල-ඩිල්ෂාන් විශිෂ්ට ඉනිම් ක්‍රීඩා කළා. තිරිමාන්න හා ජීවන් මෙන්ඩිස් තරගය අවසන් කළ ආකාරය විශිෂ්ටයි.
අපිට උඩපන්දු කිහිපයක් අතහැරුණා තමයි. නමුත් මොයින් අලි හොඳින් ක්‍රීඩා කළා. අපි ඊළඟ තරගයේදී ඔහු ගැන අවධානය යොමු කරනවා. තිසර හමුවේ ඉයන් බෙල් දැවී ගියා. ඉන්පසුව අපට නැවතත් තරගයට එන්න හැකියාව ලැබුණා.
කොහොම වුණත් ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් හොඳින් ක්‍රීඩා කළා. ඒ නිසා අපට කඩුලු දවාගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වුණා."
කෙසේවෙතත් තරගයේ මුල් පන්දුවාර 10දී ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් පන්දුයැවීම සිදුනොකළ බවත් විකට්ටුව මන්දගාමී හේතුවෙන් වැඩියෙන් දඟ පන්දු යවන්නන් යොදාගත් බවත් මැතිව්ස් පවසා සිටියේය.
"අපේ පන්දු යවන්නන් පළමු පන්දුවාර 10දී එතරම් හොඳට පන්දු යැවීම් සිදුකළේ නෑ. පළමු පන්දුවාර 10න් පස්සේ අපිට කඩුලු දවා ගැනීමට අවස්ථාව ලැබුණා. ඒ සඳහා දඟ පන්දු යවන්නන් වැඩි දායකත්වයක් ලබාදුන්නා.
ඉන්දීය තරගාවලිය හා බලපුවාම මේ තරගයේදී අපි හොඳන් පන්දු රැක්කා. මේ විකට්ටුව තරමක් මන්දගාමී ස්වභාවයක් තිබුණා. ඒ නිසා අපි දඟපන්දු යවන්නන් වැඩියෙන් යොදාගන්න තීරණය කළා."