ලංකාවේ පළමු පාද බද්ධ සැත්කම සාර්ථකයි
ලංකාවේ පළමු වතාවට සිදු කළ පාදයක් බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව සිදු කළ බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ ලයනල් මුහන්දිරම්ගේ මහතා අද (26දා) පැවසීය.
රාජාංගණයේ පදිංචි 32 හැවිරිදි අයෙකුට මෙම සැත්කම සිදු කර තිබේ.
මෙම සැත්කම සිදු කළ අනුරාධපුර ශික්ෂණ රෝහලේ රුධිරවාහිනී හා අවයව බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය ජොයෙල් අරුඩ්ච්චෙල්වම් මහතා අදහස් දක්වමින් මෙසේ පවසා සිටියේය.
“එක් අයෙකුගේ පාදයක් තවත් අයෙකුට බද්ධ කිරීම සිදු කළ ලංකාවේ ප්‍රථම අවස්ථාව මෙය වන වන අතර ලෝකයේ හතරවැනි වතාවට තමයි මෙය සිදු කර තිබෙන්නේ.
මීට වසර එක හාමාරකට පෙර හදිසි අනතුරකට ලක් ව පාදය අහිමි වු 32 හැවිරිදි රෝගියෙකුට මෙම සැත්කම සිදුකරනු ලැබූ අතර පාදය ලබා දුන් මොළය මිය ගිය පුද්ගලයාගේ වයස අවුරුදු 52 ක් වනවා. මෙම සැත්කමට පැය 11 ක් පමණ දීර්ඝ කාලයක් ගත වූවා. සියලු දෙනාගේ සහයෝගය ලැබුණු නිසා සැත්කම සාර්ථකව සිදු කිරීමට හැකියාව ලැබුණා. සැත්කමට භාජන කළ රෝගීයා යහපත් ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.”
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය අමිල සුසන්ත රත්නායක, වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රමිල් රාධක්‍රිෂ්ණා, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ඉලවන් කාරියවසම් යන වෛද්‍යවරු හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාගේ සහාය මේ සඳහා ලැබුණු බව අනුරාධපුර ශික්ෂණ රෝහල් අධ්යක්ෂ ලයනල් මුහන්දිරම්ගේ මහතා පැවසීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

