රාජ්‍ය නිලධාරීන්ට බැණ වදිමින් වගාවට හානි කරන කුළු හරක් රක්ෂිතයට මුදාහල වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව විරෝධය පාමින් අඹේවෙල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් අඹේවෙල දුම්රිය ස්ථානය අසල අද (16දා) උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා හොර්ටන් තැන්න ප්‍රදේශයේ සංචාරයක නිරතවන අතරතුර අඹේවෙල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට මායිම්ව ගැට ගසා තිබූ කුළු හරක් 7 දෙනෙකු රක්ෂිතයට මුදා හැර, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරියට හා කාෂිකර්ම පර්යේෂණ නිලධාරියාට බැණ වැදුනේ යැයි පැවසෙන සිද්ධියට විරෝධය පාමින් මොවුහු මෙම උද්ඝෝෂණය සිදු කළහ.
වැලිමඩ ප්‍රදේශයේ එළවළු වගාව සඳහා ගොවීන් විසින් ඇති කරන ලද මී හරක් මීට වසර කිහිපයකට ප්‍රථම කැලයට මුදා හැර ඇති බවත්, එම මීහරක් මේ වන විට කැලෑ වැදී ඇති අතර, එම සතුන් 150-200 අතර ප්‍රමාණයක් කුළු හරක් වශයෙන් බෝවී රංචු වශයෙන් ගම් වැදී වගාවන්ට හානි සිදු කරන බවත් අදාළ ගොවීහු පවසති. ඇතැම් අවස්ථාවල එම සතුන් ප්‍රදේශවාසීන් හා එම මාර්ගය හරහා ගමන්ගන්නා සංචාරකයන්ටද පහර දෙන බව ඔවුහු ප්‍රකාශ කරති.
නුවරඑළිය කෘෂිකර්ම කමිටුවේ නිර්දේශයක් මත මෙම කුළු හරක් අල්ලා මෙල්ල කර අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගොවිපොළකට නිත්‍යානුකූලව රැගෙන යෑමට තිබියදී එම මාර්ගයේ ගමන් ගත් නියෝජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණ මාධ්‍ය සංදර්ශනයක් පවත්වමින් රාජ්‍ය නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී අදාළ කුළු හරක් රක්ෂිතයට මුදාහල බව උද්ඝෝෂකයෝ පවසති.
තම වගාවට විශාල වශයෙන් හානි සිදුකරන කුළු හරක් යළිත් වරක් අල්ලා වෙනත් ප්‍රදේශයකට රැගෙන යන ලෙස උද්ඝෝෂණයේ නියැළී සිටින ගොවීහු අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මාධ්‍ය හමුවේ සිදුකර ඇති ප්‍රකාශ පදනම් විරහිත බවත්, නීත්‍යානුකූලව එම කුළු හරක් රැගෙන යාමට පැමිණි කිසිවෙකුත් පට්ටිපොල පොලීසිය විසින් අත්අඩංගුවට ගැනිමක් සිදුනොකළ බවත් උද්ඝෝෂකයෝ වැඩිදුරටත් කියා සිටිති.