(UPDATE)එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු වී 70 වසරක් රට පාලනය කර මෙරට අගාධයට ඇද දමා තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මෙම කණ්ඩායම් දෙක තවත් අවුරුදු 50ක් රට පාලනය කළත් මෙරට අඟලකින් හෝ ඉදිරියට ගෙන යෑමට නොහැකි බවදජවිපෙ නායකයා සඳහන් කළේය.
ඒ මහතා මේ බව පැවසූයේ අද (07 දා) කොළඹ බී.ආර්.සී. පිටියේ පැවැති මැයි දින රැලියට සහභාගි වෙමිනි.
මෙහිදී අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක මහතා, පැවසූයේ ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම පාලනය නොකිරීම හේතුවෙන් රට ආර්ථික වශයෙන් කඩා වැටීමකට ලක් වෙමින් තිබෙන බවයි.
බදු ගසා, දඩ ගසා, උප්පැන්න සහතිකය ගන්නා විට, මරණසහතිකය ගන්නාවිට එකතු කරගන්නා මුදල් ඇතුළුව ජනතාවගෙන් එකතු කරගන්නා සියලුම මුදල් රට ලබාගෙන තිබෙන ණයවල වාරිකයන්හි පොලී ගෙවීමටත් ප්‍රමාණවත් නොවන තත්ත්වයකට පත්ව තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
වංචාව, දූෂණය ඉහවහා ගොස් තිබෙන බවත්, රජගෙදර සිටින වංචනිකයන් හා ඒ වටා සිටින වංචනිකයන් විසින් මෙරටේ ජනතාවගේ දේපොළ මංකොල්ලකා ගනිමින් සිටින බවද පක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.
මේ රට කඩා වැටීම නිසා සමස්ත ජනග්‍රහණයෙන් ලක්ෂ 86කින් එක් අයෙකුගේ දෛනික ආදායම ඩොලර් දෙකට අඩු බවද හෙතෙම පවසා සිටියේය.
රටේ ආදායම බෙදී යෑමේදී ඉහළම සිටිනා 20%ට 50.8% ක් බෙදී යන බවත්, පහළම සිටිනා 20%ට ලැබෙනුයේ සමස්ත ආදායමෙන් 4.1%ක් පමණක් බවත් පක්ෂ නායකවරයා සඳහන් කළේය.
රටේ ආර්ථිකය හොර කල්ලියක් විසින් අත්පත් කරගත් නිසා ආණ්ඩු වෙනස් කරන බවත්, එහෙත් ජනතාව යළිත් පත් කරන්නේ තවත් හොර කල්ලියක් වන අතර, එබැවින් මෙරට ගොඩනැගිය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ පුළුල් බලවේගයකට පමණක් වන බවත් හෙතෙම කියා සිටියේය.
මෙරට පුද්ගලයෙකුට වෙනස් කළ නොහැකි බවත්, රාජ්‍ය ධනයෙන් ශත පහක මුදලක් ජනතා විමුක්ති පෙරමුණ සොරකම් කර නොමැති අතර,ඔවුන් සියලුම කැප කිරීම් සිදුකර තිබෙන්නේ මෙරටේ ජනතාව වෙනුවෙන් බවත් පක්ෂ නායකවරයා සඳහන් කළේය.
රට හැදීමට වෙනස් ආර්ථික ක්‍රමයක්, ප්රජාතන්ත්රවාදය ජනතාව සමග අදහස් උදහස් හුවමාරු කරන පාලනයක් ඇති කළ යුතු බවත්,රජ ගෙවල්වල දූෂණය වංචාව තිබියදී රුපියලක් ලබානොදෙන බස් කොන්දොස්තර සමග හෝ පොලීසිය සමග රණ්ඩු වී නොමැති බවත් මේ නිසා දේශපාලනය මහජන සේවයක් බවට පත්කර ජනතා සේවයක් සිදුකරන පාලනයක් ඇති කරගතයුතු බවද මෙහිදී සඳහන් කළේය.
අතිබහුතරයක් දෙනාට දේශපාලනය බිස්නස් එකක් බවට පත්වී තිබෙන බවත්, මේ නිසා දේශපාලනය ලාභ ලබන ව්‍යාපාරයක් තත්ත්වයට පත්වී තිබෙන බවත් පක්ෂ නායකයාමෙහිදී කියා සිටියේය.
මේ රට දියුණු කිරීමට තම ආර්ථික ක්‍රමවේදය වෙනස් කළයුතු බවත්, ජීවිත වෙනස් කර වංචාවෙන් දූෂණයෙන් තොර රටක් බවට පත්කිරීමට සටනක් දියත් කළයුතු බවත් මෙහිදී සඳහන් කළේය.
70 වසරක පක්ෂ දෙකේ පාලනය කොතරම්ද යත් රටට අවශ්‍ය සීනිවලින් 90%ක් පිටරටින් ගෙන එන බවත්, රටට අවශ්‍ය සහල්වලින් 32෴කුත්, රටට අවශ්‍ය අර්තාපල්වලින් 67%කුත් විදේශ රටවලින් ගෙන්වන බවත් පක්ෂ නායකයා මෙහිදී කියා සිටියේය.
බොරැල්ල කැම්බල් පිටියේ සිට බී.ආර්.සී. පිටිය දක්වා ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පෙළපාළිය පැවැත්වූ අතර, මැයි දින රැලිය පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බී.ආර්.සී. පිටියේදී පැවැත්විණි.