රැවටිල්ල කාගේ කාගේත් ජීවිතවලට සම්බන්ධය. ජීවිතයේ එක්වරක්වත් කාටවත් රැවටිලා නැති කෙනෙකු සොයාගන්න බැරි තරම්ය. එක් වරක් පමණක් නොව සිය දහස්වර රැවටුණු අය එමටය. වරක් රැවටුණු අය ඒ බව අමතක වී යළි යළිත් රැවටෙනවාය.
රැවටිලා ජීවත්වෙන බොහොම දෙනා තමා රැවටිලා ජීවත්වන බව දන්නේ නැත්තේය. ඒ අය තමා රැවටුණු බව දැනගත් විට සිදුවෙන්න තිබුණු සියල්ල සිදුවී හමාරය.
වෙනත් අයට නොව තමන්ටම රැවටුණු අය බොහොම ඉන්නවාය. තමන් තමන්ටම රැවටිල්ල අන් අයට රැවටිල්ලට වඩා දරුණුය. අනුන්ට රැවටුණු අය තමන් රැවටී සිටි බව කවදා හෝ දැනගන්නා නමුත් තමන් තමන්ටම රැවටුණු අයට කවදාවත් එය දැනගන්නට ලැබෙන්නේ නැත්තේය.
කෙල්ලගේ බොරු ආදරයට රැවටුණු කොල්ලා අමාරුවේ වැටෙනවාය. ඒ වගේම තරුණියන් බොරුවට රවට්ටාගෙන අමාරුවේ දමන්නට දස්ස තරුණයන්ද සිටිනවාය. ආදරය තරම් කවුරුත් රැවටෙන දෙයක් ලොව නොමැති තරම්ය. තමන් බොරු ආදරයකට රැවටුණු බව ඇයට තේරුම් යන්නේ දෙන්නා එකතු වී දරුවෙක් දෙන්නෙක් ලැබුණාට පසුවය. අද කසාද බඳිනවා. හෙට බඳිනවා යැයි කියමින් තරුණියන් රවට්ටනවාය. එහෙම රැවටිච්ච අය එයින් ගැලවීමට නීතියේ පිහිට සොයනවාය.
රැවටිච්චී, පොල්කිච්චී, කැන්ද ගහේ එල්ලිච්චී කියමින් තවත් කෙනෙකු රැවටිල්ලට ලක්කිරීමට කුඩා දරුවන්ද දස්සය. එහෙම රැවටිල්ල පොඩි අයගේ විනෝද සෙල්ලමක්ය. ඒත් මේ කියමනෙන් පෙනෙන්නේ රැවටිල්ල එල්ලීමට පවා හේතුවක් වෙන බවය. එහෙම රැවටිල්ලට ලක් වූ අය පසුව එල්ලිලා මැරුණු අවස්ථාද තිබෙනවාය.
නැති දේවල් ඇති බව පෙන්වලා තරුණයන් රවට්ටන්නට ඇතැම් තරුණියන් හරි දස්සය. සිරුරේ අඩුතැන් පුරවාගෙන අනුන් රවට්ටන පුළුවන් ක්රම සහ විධි අද ඕනෑ තරම් තියෙනවාය. කොණ්ඩයක් යැයි විග් එකට රැවටෙන අයද, පියයුරු යැයි තනපටයට රැවටෙන අයද අද ඕනෑ තරම් ඉන්නවාය. එසේම ඇඳුම් විලාසිතා හැටියට කෙල්ලට කොල්ලා යැයිද, කොල්ලාට කෙල්ල යැයිද රැවටෙනවාය.
පිරිමින්ද ගැහැනුන් රවට්ටන්නේ තමන්ටද නැති දේවල් ඇති කර පෙන්වමින්ය. තමන්ට නැති මිල මුදල් ඇති බව පෙන්වා රවට්ටනවාය. එසේම නැති තනතුරු ඇතැයි රවට්ටන අයද සිටිනවාය. සේල් එකකින් කාර් එකක් කුලියට අරගෙන, එය තමන්ගේ යැයි පෙන්වා, කෙල්ලන් රවට්ටා ඔවුන් දපනේ දාගන්නවාය. මෙහෙම බොරු සෝබන කාරයන්ට රැවටී අමාරුවේ වැටෙන කෙල්ලන් බොහෝය.
සමහර හාම්පුතුන්ද නොයෙක් දේවල් දෙන්නට පොරොන්දු වී සේවකයන් රවට්ටනවාය. වෘත්තීය සමිතිවල වැඩිපුර කෑගහන නායකයන්ට මොනවා හෝ සොච්චමක්දී ඔවුන් රවට්ටා ගන්නට ආණ්ඩුව කටයුතු කරනවාය. ඉහළ විභාග සමත් වූ බවට බොරු සහතික පෙන්වා රවට්ටමින් තනතුරු ගන්නට දස්ස අයද ඉන්නවාය. අනුන් රැවටීම සඳහා ඕනෑම බොරු ලියවිල්ලක් හදා දෙන්න පුළුවන් අයද බිහිවෙලා ඉන්නවාය.
වෙළෙන්ඳන්, පාරිභෝගිකයන් රැවටිල්ලට කප් ගසා සිටිනවාය. ගම්මිරිස් ඇටවලට ගස්ලබු ඇට දමා රවට්ටනවාය. හකුරුවලට හුඹස් මැටි දමලාද, මිරිස් කුඩුවලට ගඩොල් කුඩු එකතු කරලාද රවට්ටනවාය. පොල්තෙල් කියා ෆාම්තෙල් අලෙවිකර රවට්ටනවාය. බොහෝ වෙළෙඳ දැන්වීම්වලින් කරන්නේද පාරිභෝගිකයා රවට්ටන එකය. දැන්වීම්වල පෙන්වන දේවල් ඇත්ත යැයි සිතා ඒවා මිලට ගන්නා අය තමන් රැවටිල්ලකට ගොදුරු වූ බව දන්නේ පාවිච්චි කරන්න පටන් ගන්නා විටය. බොරු දත් ඇඳිවලට ඇත්ත දත් යැයි රැවටෙන අතර, නංගී පෙන්වා අක්කා විවාහ කර දීමද එවැනි රැවටිල්ලක්ය.
අද බඩුවල මිලේ හැටියට දුප්පතාට සිදුව ඇත්තේ කුසගින්නට තේ කහට උගුරක් බී බඩ රවට්ටා ගන්නටය. පූජා වට්ටියක් පිළිගන්වා දෙමින් රවට්ටන අය මෙන්ම යකා රවට්ටන්නට මස් යැයි කියාලා සපත්තු සම් කැබැල්ලක් දෙන කට්ටඩියන්ද ඉන්නවාය. සාත්තරකාරයා සාත්තර අහන්න එන අය රවට්ටලා බඩ වඩා ගන්නා අතර, බොරු සාත්තරවලට වැඩියෙන් රැවටෙන්නේ බවලත් උදවියය.
මිරිඟුවට වතුර යැයි රැවටුණු මුවා දුවලා දුවලා මැරී වැටෙනවාය. එදා කැරට් අලයට රැවටුණු කම්කරුවා අදත් එයට රැවටෙනවාය. කැලේ සිටින සතුන් රවට්ටන කපටි රජා ලෙස නරියා නම් දරා තිබෙනවාය. සිංහයා ළිඳ ළඟට රැගෙන ගොස් ළිඳේ වැටුණු ඡායාවට ඌ රවට්ටලා ළිඳට දමා මැරූ සිවල්ලුද සිටිනවාය.
බැටළු හම පොරවා ගත් වෘකයාට රැවටුණු මුවා ජීවිතය දන් දෙනවාය. නිල් බාල්දියට බැස නිල්පාටින් කැලේ රජවෙන්නට ගිය හිවලාට සත්තු රැවටුනේය. කපුටු කූඩුවේ බිත්තර දමන කොහා, කපුටා රවට්ටාගෙන බිත්තර රක්කා ගන්නවාය. කොකා විල ළඟට ගොස් භාවනා කළේ කුඩා මසුන් රවට්ටාගන්නටය. එහෙත් අන්තිමේදී කකුළුවාට රැවටෙන්නට කොකාට සිදුවිය. කොක්කු දෙන්නෙකුගේ පිහිටෙන් අහසේ ඉගිළෙන්නට ගිය ඉබ්බා රැවටුණේ කට ඇරියාට පසුවය.
කේවට්ටයා මැණික් ගලේ ඡායාව ළිඳේ පෙනෙන විට මැණිකක් යැයි කියා රැවටුණේය. බුදුන් රැවටීම සඳහා චිංචි මානවිකාව බඩේ දරමිටියක් බැඳගෙන ආවාය. බුදුන් වදාළ දෙයට රැවටුණු කිසාගෝතමිය නොමළ ගෙයකින් අබ සොයන්නට පටන් ගත්තාය. එදා සිංහලයා පරංගියා රැවට්ටුවේ දුර පාරකින් කෝට්ටේට රැගෙන යෑමෙන්ය. අද අනුරාධපුරය යැයි කොළඹ අවට විහාරයක් පෙන්වා සුද්දන් රවට්ටන මගපෙන්වන්නන්ද සිටිනවාය.
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල යයි කියන්නේ රැවටිල්ල ආත්මාර්ථකාමීන්ගේ උප්පරවැට්ටියක් නිසාය. එදා මෙන්ම අදද දේශපාලුවන්ගේ බොරු පොරොන්දුවලට රැවටෙන ඡන්ද දාසලා අමාරුවේ වැටෙනවාය.