'භින්න පැවැත්ම' යනු මානව භූගෝල විද්‍යාවේ (Human Geography) හමුවන සංකල්පයකි. මානව භූගෝල විද්‍යාව යනු භූගෝල විද්‍යාවේම කොටසක් වන අතර, මෙහිදී අධ්‍යයනය කරනු ලබන්නේ ප්‍රජාවන්, සංස්කෘති, මිනිසුන් සහ ස්වභාවධර්මය අතර ඇති සම්බන්ධය වැනි දේය. මානව භූගෝල විද්‍යාව යටතේ ඇති %භින්න පැවැත්ම^ නම් සංකල්පය හඳුන්වා දෙන ලද්දේ ලෝක ඉතිහාසයේ පහළ වූ විශිෂ්ටතම චින්තකයෙකු වූ මිෂෙල් ෆූකෝ විසිනි.
'භින්න පැවැත්ම' යන්න යුතෝපියාවකටද, ඩිස්ටෝපියාවකටද වඩා වෙනස් වන්නකි. 'යුතෝපියාවක්' යනු කේතුමතී රාජධානියකි. එසේත් නැත්නම් රාම රාජ්‍යයකි. එය ඉතා පරමාදර්ශී තත්ත්වයක් වන අතර, ලෝක ඉතිහාසයේ අප දන්නා කාලයක එවැනි සමාජයක් නිර්මාණය වී නොමැති අතර, පුරාණෝක්තිවල පමණක් එවැනි කේතුමතී රාජධානි පිළිබඳ අසන්නට ලැබේ.
'ඩිස්ටෝපියාවක' යනු යුතෝපියාවක අනෙක් අන්තයයි. එය මිහිපිට අපායක් බඳු වූ ස්ථානයකි. එනම් අමානුෂිකත්වය රජයන ස්ථානයකි. ෆූකෝ විසින් ඉදිරිපත් කරනු ලබන භින්න පැවැත්ම ඇත්තේ යුතෝපියාවටත්, ඩිස්ටෝපියාවටත් වෙනස් වූ තැනකය. එය හෙජෙමොනික බලයෙන් විතැන් වූ අවකාශයකි (non-hegemonic state). ෆූකෝ විසින් භින්න පැවැත්ම සඳහා දෙන හොඳම උදාහරණය වන්නේ නෞකාවකි. නෞකාවක් නිරන්තරයෙන් සිය භූගෝලීය ස්ථානය වෙනස් කර ගනී. එනයින්, කිසියම් රාජ්‍යයක හෙජෙමොනික බලයට අදාළ නෞකාව නතු වන්නේ නැත. එයට රටක පවතින සංස්කෘතියක බලපෑම ඇති වන්නේ නැත. විවිධ ස්ථානවල නැංගුරම් ලෑම තුළින් නෞකාවක් විසින් තාවකාලික ප්රතිස්ථානයක් (temporary counter-place) ගොඩනගා ගනී. එහිදී නැංගුරම් ලෑ ස්ථානයේ හා සමාජයේ ඇති සංස්කෘතිය අනෙක් තත්ත්වය (otherness) වශයෙන් ක්‍රියාත්මක වෙයි.
මීට අමතරව පොදු සමාජයෙන් වෙන්ව පවතින, නේවාසිකාගාර, පාසල්, සිරමැදිරි, රෝහල් ආදියද භින්න පැවතුම් වශයෙන් හඳුනා ගන්නා අවස්ථා තිබේ. එහිදී එදිනෙදා ජීවිතයේ ඇති බලවේගයන්ගෙන් විතැන් වීමක් සිදුවන අතර, දීර්ඝ කාලයක් රෝහල්ගත වී සිටීම වැනි දෙයින් කාලය ගැන ඇති හැඟීම පවා වෙනස් වන බව පෙනී ගොස් තිබේ. ෆූකෝ විසින් මෙම තත්ත්වය හඳුන්වනු ලබන්නේ භින්නකාලතාව (heterochronia) වශයෙනි. මෙම සෑම භින්න පැවතුම් අවකාශයක්ම ප්‍රධාන ධාරාවේ සමාජයෙන් වෙන්වී ඇති අතර, ඊටම ආවේණික වූ ගතිපැවතුම්වලින් යුක්ත වේ. %භින්න පැවැත්ම^ යනු භෞතික මෙන්ම අභෞතිකද විය හැකිය. උදාහරණයක් ලෙස කෙනෙකු ජංගම දුරකථනයකින් අමතන විට භින්න පැවැත්මක් ඇතිවන අතර, භෞතික සහ මානසික අවකාශයකට ඔහු හෝ ඇය එක්වර ඇතුළු වෙයි.
විවිධ භින්න පැවතුම් වර්ග පිළිබඳ ෆූකෝ කරුණු ඉදිරිපත් කර ඇති අතර, ඉන් එකක් නම් අර්බුදකාරී භින්න පැවතුම්ය. සිරමැදිරි ආදිය ඊට නිදසුන් ලෙස ගත හැකිය. එහෙත් මහා සමාජය විසින් පනවනු ලබන අධිපති බල ව්‍යූහයට එරෙහි පිළියමක් ලෙස භින්න පැවතුම් අවකාශ ඇතිකිරීම යෝග්‍ය වූවක් ලෙස ෆූකෝ දුටුවේය.
දර්ශන අශෝක කුමාර