ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු බැඳුම්කර වංචාවට අදාළව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිරගත කර අග්‍රාමාත්‍ය තනතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාගැනීමට ඇඟිලි ගනිමින් සිටියහ. නමුත් එම සිහිනය බොඳ වී යාමට ගතවූයේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු දින ගණනකි.
ඒ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුෙවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන යන පුද්ගලයන් නම් කිරීම හේතුවෙනි.
සටහන ලියන විට අර්ජුන් ඇලෝසියස් හා කසුන් පළිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
මේ අතර එහි තවත් සැකකරුවෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දැන් රටින් පැනගොස් සිංගප්පූරුවේ සිටියි. ඔහුට එළඹෙන 15 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරවෙන ලෙස අධිකරණය නියෝග කර ඇත. තමා අත්අඩංගුවට පත්වන බව දන්නා නිසාම අර්ජුන් මහේන්ද්‍රන් නියමිත දිනට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට ඇත්තේ අවම ඉඩකි.
ශ්‍රී ලංකාවේ හෝ පුරවැසිකමක් නැති පුද්ගලයෙකුශ්රී ලංකා මහ බැංකුවේ අධිපති තනතුරට පත් කිරීම සඳහා ඔහු සිංගප්පූරුවේ සිට ගෙන්වා ගත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වන හෙයින් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමේ වගකීමද ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටමය.
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගියදා මැතිවරණ රැලියකදී ප්‍රකාශ කළේ තමා දුර්වල නොකරමින් බැඳුම්කර සොරුන්ට දඬුවම් දීමට තමන්ට ශක්තිය දෙන බවයි. ඒ අනුව මේ වන විට ඇලෝසියස් හා පළිසේන අත්අඩංගුවට පත්ව ඇත. නමුත් ඒ සඳහා වගකිවයුතු දේශපාලන අධිකාරියේ කිසිවෙකු අත්අඩංගුවට පත්ව නොමැත.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටු වාර්තාවට පාද සටහන් එක් කළ කල්ලිය, බැඳුම්කර ගනුදෙනුවේ සොරකමක් සිදු නොවූ බවට ලියා පොතක් පළ කළ සුජීව සේනසිංහ, මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි පවසන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, රවි කරුණානායක, මලික් සමරවික්‍රම, මහ බැංකුව බාරව කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු මහ බැංකු අධිපතිවරයා එම ධුරයට පත් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඔහු එම ධුරයට යෝජනා කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යන සෑම අයම සෘජුව හා වක්‍රව මෙම සොරකමට වගකිව යුතුය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා එම තනතුරට පත් කරන විට සිය විරුද්ධත්වය අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කළ බව පවසමින් සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා එම ධුරයට පත්කරන විට තමා විරුද්ධ වූ බව සඳහන් කරමින් අතිගරු ජනාධිපතිවරයාට සිය වගකීමෙන් මිදිය නොහැක. රටේ පළමු පුරවැසියාත්, විධායක ජනපතිත් ඔහුය. ඒ අනුව ඔවුන් අදාළ තනතුරුවලට පත් නොකිරීමට ජනපතිවරයා තීරණයක් ගත යුතුව තිබිණි. නමුත් ආණ්ඩුවේ දේශපාලකයන්ට එසේ නීතිය ක්‍රියාත්මක නොවේ.
නමුත් ඒකාබද්ධ විපක්ෂයට එවැනි තත්ත්වයක් නොමැත. බී වාර්තා ඉදිරිපත් කරමින් මුලින්ම අත්අඩංගුවට ගන්නේ මන්ත්‍රීවරුන්ය. පසුව අදාළ නිලධාරීන් අත්අඩංගුවට ගනියි. මේ අතර රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායිහිදී අත්අඩංගුවට පත්විය. මැතිවරණයක් ආසන්නයේදී මෙම අත්අඩංගුවට ගැනීම්වලින් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ අනියම් වාසි ලබාගැනීමටය.
මේ වන විට ආණ්ඩුව මුදල් නොමැති බව සඳහන් කරමින් ජනතා සහන එකින් එක කප්පාදු කරමින් සිටියි. මේ අතරම ශ්‍රී ලංකාවේ ඉඩම් මැනීමේ කටයුතු ඇමෙරිකාවේ සමාගමක් වෙත පැවරීමට රජය කටයුතු කරමින් සිටියි. ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවක් තිබියදී මෙන්ම එම කාර්යය තමන්ට කළ හැකි බවට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවකයන් පවසද්දී රුපියල් මිලියන ගණනක මුදල් වියදම් කරමින් මිනින්දෝරු කටයුතු ඇමෙරිකාවේ සමාගමක් වෙත පවරන්නේ කුමන හේතුවක් නිසාදැයි සොයා බැලිය යුතුය. මෙය මිනින්දෝරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමේ පළමු පියවර හෝ මිනින්දෝරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමට සමානය.
මේ අතර ශ්‍රී ලංකන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සමාගම හා මිහින් ලංකා සමාගමේ සිදු වූ බව කියන දූෂණ සෙවීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් ජනපති කොමිසමක් පත් කළේය. එම කොමිෂන් සභාව පත්කිරීම යහපත් දෙයකි. ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉතිහාසයේ වැඩිම අලාභය මේ වසරේදී ලබා ඇති බව වාර්තා වේ.
එසේ වීමට හේතුවද කොමිෂන් සභාවෙන් සොයා බැලිය යුතුය. ඊට අමතරව මිහින් ලංකා ගුවන් සේවය ඈවර කිරීම, ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ඇණවුම් කළ ගුවන් යානා අවලංගු කර එම යානා මිලදී ගැනීමට ගෙවීමට නියමිතව තිබූ මුදලක් වන්දි වශයෙන් ගෙවීමට කටයුතු කිරීම ආදිය පිළිබඳවද මෙම කොමිසමෙන් සොයා බැලිය යුතුය. ගිවිසුම අවලංගු කිරීම හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවය ශක්තිමත් කිරීමට එක්වීමට නියමිතව තිබූ ගුවන් යානා අහිමි වූ අතරම ඒ හා සමාන මුදලක් වන්දි වශයෙන් ගෙවීමෙන් තවත් මුදලක්ද ආණ්ඩුවට අහිමි විය.
ලබන 10 දා තීරණාත්මක පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතය. මෙහිදී ඔබ භාවිත කරන ඡන්දයක් ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් තීරණාත්මක සාධකයක් බවට පත්වෙනු ඇත. රට දෙකඩ කිරීමට එරෙහිව, නැවතත් සංවර්ධනය ගමට හා රටට ගෙන යාමට, රාජ්‍ය සම්පත් විදේශයන්ට විකිණීමට එරෙහිව ඔබගේ ඡන්දය භාවිත කරන ලෙසට මෙහිදී මා ඉල්ලා සිටිමි.
ඔබට සුබ අනාගතයක්!
ලබන සතියේදී යළිත් හමුවෙමු!