නොයෙක් වැරදි කරලා ගැලවෙන්න හදන අය අද බොහොම ඉන්නවාය. ඇතැම් අය සූදානම් වන්නේ තමා කළ වරද වෙන කෙනෙකුට පටෝලා ගැලවෙන්නටය. දරුණු අපරාධකරුවන්ට වූවත් දක්ෂ නීතිඥයෙකු අල්ලා ගත් විට තමා කළ වරදෙන් ගැලවෙන්න අමාරු නැත්තේය. එහෙම ගැලවෙන්න නම් වැඩිපුර සල්ලි ටිකක් වියදම් කළ යුතු වන්නේ අපරාධයේ තරම අනුව උගත් නීතිඥයන් ගාස්තු ඉහළ නංවන නිසාය.
සමහරුන් නඩුවලින් ගැලවෙන්නේ සාක්කිවල දුර්වලතා හින්දාය. පුළුවන්කාරයන් නඩු කියලා චෝදනාවලින් ගැලවුණත් දුර්වලයාට නම් එහෙම ගැලවෙන්න අමාරුය. කෝටි ප්‍ර‘කෝටි ගණන් වංචා කරපු අය චෝදනාවලින් ගැලවුණද අඹගෙඩි තුන හතරක් හොරකම් කළායැයි චෝදනා ලැබූ අයට නම් ගැලවෙන්නට අමාරු වෙනවාය.
අපරාධකාරයන් නඩු කියලා ගැලවුණාට ඒ අයට නම් හෘදය සාක්ෂියෙන් නම් ගැලවෙන්නට අමාරුය. එයට හේතුව කාගෙන් ගැලවුණත් වැරදි කළ අයට තමාගෙන් ගැලවිල්ලක් නැති නිසාය.
මොනවැයින් ගැලවුණත් පව් කළ අයට නම් විපාකවලින් ගැලවෙන්නට බැරිය. මේ ආත්මයේදී ගැලවුණත් ඊළඟ ආත්මවලදී නම් නොවරදවා විපාක විඳින්න සිදුවෙනවාය. බුද්ධාගමේ උගන්වන විදියට පව් කළ අයට එම පව් වලින් ගැලවෙන්න බැරිවන්නේ කරත්ත රෝදය පසුපස එනවා මෙන් නිරතුරුව පව් තමා ලුහුබඳින නිසාය.
උගුලට හසු වූ විට ගැලවිල්ල අමාරුය. දඩයක්කාරයන් සතුන් අල්ලාගන්න අටවන උගුල්වලින් ගැලවෙන්නට සතා සීපාවාට ලෙහෙසි නැත්තේය. කපටි නරියාගේ උගුලට හසු වූ සිංහයාටද ගැලවෙන්නට බැරි වුණේය.
දඩයක්කරුවන් බඳින තුවක්කුවලින් ගැලවෙන්න බැරිවෙලා සත්තුත් මිය යනවාය. මී කතුරට හසු වූ මීයාටද ගැලවෙන්නට බැරිවන්නේ දඟලන විට උගේ බොටුව තදවෙන හින්දාය.
වීදුරු කාමරවල සිටිමින් ඇඳුම් ගැලවිල්ල නරකය. සමහර අයට ලෙහෙසියෙන් ඇඳුම් ගලවන්න පුළුවන් වුණත්, ඇඳගැනිල්ල නම් අමාරුය. ඇඳුම් ඇඳ ගන්න වගේම ගලවන්නටත් නියමිත තැනක් තිබෙනවාය. ඇතැම් අය නුසුදුසු ස්ථානවල ඇඳුම් ගලවන්න ගොස් අමාරුවේ වැටෙනවාය. සමහර අය කේන්ති ගියාම අනිත් අයගේ රෙදි ගැලෙවන්න කතා කරනවාය. පසුගියදා කාගේදෝ කලිසමක් ඔළුවෙන් ගලවන්න යන කතාවක් පාර්ලිමේන්තුවේද කියැවුණේය. ඇඳ සිටින රෙදි ගලවන්න පුළුවන් වුණත් කියන තරමට කලිසම නම් ඔළුවෙන් ගලවන්න පහසු නැත්තේය. ඒ කොහොම වුණත් කවුරු කවුරුත් තමාගේ රෙදි ගැලවෙන වැඩ නම් නොකර හිටියොත් හොඳය.
තොප්පි දා ගැනිල්ල වගේම ගලවා දැමිල්ලත් අමාරු නැත්තේය. එහෙත් නිතරම අනුන්ට තොප්පි දාන්න යන අය තමාට තොප්පියක් වැටුණු විට ගලවාගන්න අමාරු බව සිතුවොත් හොඳය. පාවහන් ගැලවිය යුතු වන්නේ පූජ්‍ය ස්ථානවලට ඇතුළු වන විටය. එවැනි තැන්වලට යනවිට තොප්පිද ගලවාගෙන යා යුතුය. සමහර තැන්වල හිස්වැසුම්, පාවහන් ගලවා ඇතුළු වන්නයැයි බෝඩ් සවිකර ඇත්තේ නොගලවා යන අයද සිටින නිසාය.
ලෙඩ දෙන දත් නම් ගලවා දමන්න ඕනෑය. සමහර අය තමන්ගේ දත් නොගැලුවත් අනුන්ගේ දත් ගලවන්න හරි දස්සය. කේන්ති ගියවිටත් අනුන්ගේ දත් ගලවන වීරයන් සිටිනවාය.
සමහර අය කේන්ති ගිය විට කියන්නේ මම තොගේ බෙල්ල ගලවලා අතට දෙනවා කියලාය. ඒත් අනුන්ගේ බෙල්ල ගලවන්න හදන අය තමන්ගේ බෙල්ලද ගැලවෙන දිනය ළං වන බව දැනගත යුතුය. බෙල්ල නොගලවා ඔළුව ගලවන වෙලාවල්ද තිබෙනවාය. මොළය සැත්මකට භාජනය කරන විට ඔළුකට්ට ගලවන්න දොස්තරලාට සිදුවෙනවාය. එහෙම ඔළු ගැලෙව්වත් ඔළුව ඇතුළේ තියෙන මොළය නම් ගැලවිල්ල බොරුය.
බොහෝ වයසක අය තරුණ වෙන්න හදන්නේ ඉදුණු හිසකෙස් ගලවා දමලාය. කෙස් වැටියෙන් වැඩියෙන් සුදු වුණ විට ඩයි කරනවා හැර ගලවලා ඉවරයක් කරන්න බැරිය. නියපොතු කපනවා මිසක ගලවන්නේ නැත්තේය. ඒත් පොලීසියට අල්ලාගෙන ගිය අයගේ නියපොතු ගැල වූ බව පසුගිය දිනවල දැනගන්නට ලැබුණේය.
සැකකරුවන්ට මාංචු දැමූ විට ගලවා ගන්න බැරිය. එහෙත් සමහර අය මාංචු ගලවාගෙන කූඩුවෙන් පැනලා යන්න තරම් දස්සය.
පොදු ස්ථානවල සවිකර තිබෙන බොහෝ දේවල් ගැලවිල්ලට ඇතැම් අය හරි දස්සය. කොච්චියේ බල්බ් ගලවන අය වතුර ටැප්වල කරාම ගලවා ගෙදරට සවිකර ගන්නවාය.
කෙළ ගා ඇලවූවත් මුද්දරය ගැලවිල්ල අමාරුය. සමහරු පුරුදු වෙලා ඉන්නේ අනුන්ගේ ලියුම් ගලවා කියවන්නටය. නොයෙක් වැරදි කරලා හීන් නූලෙන් ගැලවෙන්න දස්ස අය හිස ගිනි ගන්නා විට එයින් ගැලවෙන්න ගඟේ මුහුදේ පනිනවාය. මුට්ටිය හිසේ හිර කරගත් එළුවාගේ හිස ගලවන්න ගිය මහදැනමුත්තා ඉස්සෙල්ලාම කළේ උගේ බෙල්ල කැපීමය. මුට්ටිය ගැලෙව්වේ ඊට පස්සේය.
වගකීම්වලින් ගැලවෙන්නට නොයෙක් ක්‍රම‘යොදන අය ඉන්නවාය. %කරන්ට්^ එක නවත්වන්න නම් %ප්ලග්^ එක ගලවන්න ඕනෑය. සසරෙන් ගැලවෙන්න නම් නිවන් දකින්න ඕනෑය. ඒත් අද අපි කරන පව්වල හැටියට නම් කවදාවත් සංසාරෙන් ගැලවිල්ල බොරුය.