ඇඹරිල්ල ගැන කතා කරනකොට මුලින්ම මතක් වෙන්නේ මිරිස් ඇඹරිල්ලය. ඉස්සර නම් හැම ගෙදරකම හොද්දට මිරිස් දැම්මේ මිරිස් ගලේ අඹරලාය. මිරිස් හැරුණුවිට කුරක්කන් අඹරන කුරක්කන් ගල්ද ගෙවල්වල තිබුණේය. කහ සහ හොද්දට දමන තුනපහ ජාතිද ගලේ අඹරලා ගන්නවාය. පොල් ගලේ ඇඹරූවිට වැඩිපුර කිරිගන්න පුළුවන්ය. 'ගල හොඳ නම් අඹරන කහ මක්වේද', 'මව හොඳ නම් දුව පතිවත නොරකීද' ආදී කවි පටබැඳුණේ මෙම ඇඹරිල්ල සම්බන්ධ කරලාය.
අද නම් ගමේ ගෙවල්වල වත් ඇඹරුම්ගල් දක්නට නැත්තේ කිසිවක් අඹරන්නේ නැති නිසාය. ගල් වෙනුවට මැෂින්වල අඹරා කුඩුකර ගන්නා නිසා අද ගෙදර උන්දැලා අඹරන්න දන්නේ නැත්තෝය. ඒත් ඉස්සර නම් ඇඹරිල්ල ඒ අයට හොඳ ව්‍යායාමයක් වුණාය.
හොද්දට දමන්නට නොව කේන්තියට මිරිස් අඹරන තැන්ද තියෙනවාය. එහෙම දේවාලවලට ගොස් මිරිස් අඹරන්නේ තරහකාරයන්ගේ පවුල්පිටින් ඇඹරිලා යන්නටය.
සම්බෝලයක් තැනීමට පොල් ඇඹරුවේද ගලේය. ඒත් අද හදන සම්බෝලවලට පොල් අඹරන්නේ නැති හින්දා ඒවායේ රසයද අඩුය. සෙක්කුවේ පොල් ඇඹරුවේ තෙල් ගන්නටය. පස්සෙන් පහු තෙල් හිඳිල්ල කර්මාන්ත ශාලාවල ලොකුවට පටන් ගැනිල්ල නිසා සෙක්කුවේ ගොන්නු දෙන්නා යොදවා පොල් ඇඹරිල්ල නැතිවෙලා ගිහින්ය.
පොල් ලෙලි තළා ලණු ඇඹරිල්ල ඉස්සර නම් ගෘහ කර්මාන්තයක්ය. ඒ කාලයේ මුහුදුකරයේ බොහෝ කාන්තාවන් ලණු ඇඹරුවේ එදිනෙදා වේල පිරිමසා ගන්නටය. ඒ අද වනවිට ප්ලාස්ටික් ලණු ඇඹරිල්ල නිසා කොහු ලණු ඇඹරිල්ල නැතිවෙලා ගිහිල්ලාය. පොල් කෙන්ද කඩා දමන්න ලෙහෙසි වුණත් පොල් කෙඳි රැසක් එකතු කර අඹරන කඹය අලි ඇතුන් බඳින්න පවා ගන්නවාය. අඹර අඹරා දමන ගැටය ලිහන්න අමාරුය. ඒත් සමහරුන් දාන දහන්ගැට ලණු අඹරලා දාන ගැටයටත් වඩා ලිහන්න අමාරුය.
උක්ගස් අඹරන්නේ පැණි ගන්නටය. සීනි කම්හල්වල උක්ගස් ඇඹරීමේ විශාල යන්ත්‍ර තිබුණේය. පාහන්වැටිය අඹරන්නේ රෙදිවලින්ය. කොණ්ඩා කරල් අඹරන්නේ හිසකෙස්වලින්ය. අද වනවිට ගැහැනු ළමයින් කොණ්ඩා කපන නිසා කරල් අඹරන්න බැරිය.
කුලවතුන් හමුවේ කුලහීනයන් ඇඹරුවේ ඔවුන්ට ගරුසරු කරන්නටය. අද ආණ්ඩුවේ කන්තෝරුවකින් වැඩක් කරවාගන්න යන දුප්පතාටද සිදුවන්නේ ලොකු ලොකු මහත්වරුන් ඉදිරියේ ඇඹරී ඇඹරී සිටින්නටය. ලොක්කාට වඩා සොක්කා ඉදිරියේ ඇඹරුණේ නැතිනම් මොකක්වත් කරගන්න බැරිය. ගුරුවරයා ප්‍රශ්නයක් ඇහුවාම පිළිතුරු දෙන්න නොදන්නා සිසුවා කරන්නේ ඇඹරී ඇඹරී ඉන්නා එකය.
පොලිස් නිලධාරියා ඉදිරියේ කුඩ්ඩා ඇඹරෙන්නේ බයටය. දුප්පතා පොලිස් පොඩ්ඩා ඉදිරියේ ඇඹරෙන අතර, පොලිස් පොඩ්ඩා පොලිස් ලොක්කා ඉදිරියේ ඇඹරෙනවාය. පොලිස් ලොක්කාට හතර අතට ඇඹරෙන්නට සිදුව ඇත්තේ දේශපාලුවන් ඉදිරියේදීය. කොල්ලන් ඉදිරියේ කෙල්ලන් ඇඹරෙන්නේ බයට නොව ඔවුන් දපනේ දාගන්නටය. ඇඹරි ඇඹරී ලැජ්ජාවෙන් වගේ ඉන්නකොට හිතෙන්නේ මෙයා හරි ලැජ්ජා බයට හැදුණු ගැහැනු ළමයෙක් කියලාය. එහෙම හිතලා පෙළවහක් කරගත් කොල්ලාට සිදුවන්නේ සදාකාලිකව ඇය ඉදිරියේ ඇඹරි ඇඹරී ඉන්නටය.
දත්වලින් කෙරෙන්නේ කෑම අඹරන එකය. හක්කේ දත් පිහිටලා තියෙන්නේ කෑම අඹරලා කන්න පුළුවන් වෙන විදියටය. අලියා කෑම කන්නේ හොඬවැලෙන් අල්ලලා හොඳට අඹරලාය. ඌට කේන්ති ගිය විට ඇත්ගොවුවාද අඹරලා දමනවාය.ගස් අඹරවාගෙන කුණාටු හමනවාය. කුණාටුවට ලොකු ගස් බිම හෙළුවත්, කුඩා ගස් අඹරවා දමන්න බැරිය.
වෙද මහත්තයා පත්තුව හදන්න නියම කරන්නේ බෙහෙත් ජාති අඹරලාය. තෙල් හිඳින්නද බෙහෙත් වර්ග අඹරනවාය. දැන් නම් හැම අමාරුවකටම පෙති ගිලින නිසා වෙද මහත්තයාගේ අඹරන, කොටන බෙහෙත්වලට තැනක් නැත්තේය.ඡන්ද දිනය ළං වනවිට ඡන්දදාසලා ඉදිරියේ දේශපාලුවන් ඇඹරෙන්නේ කොහොම හරි කතිරය ගස්සවා ගැනීමටය. ඒත් ඡන්දයෙන් පස්සේ ඡන්දදාසලාට සිදුවන්නේ දේශපාලුවන් ඉදිරියේ හැමදාමත් ඇඹරෙන්නටය.