මාර්ග සංවර්ධනයට ලෝක බැංකුවෙන් ඩො.මිලි 110ක්
ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන මාර්ග සංවර්ධනය සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 110ක ප්‍රතිපාදන අනුමත කර ඇත. ශ්‍රී ලංකාවට බලපෑ දිත්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානි වූ කිලෝමීටර් 600 ක මාර්ග ජාලයක් අලුත්වැඩියා කර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මෙම අරමුදල් ලබා දී තිබේ.
මෙම නව මූල්‍ය ප්‍රතිපාදන ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ (International Development Association - IDA) අර්බුද ප්‍රතිචාර අරමුදල (Crisis Response Window) හරහා ලබා දී ඇති අතර, සුළි කුණාටුවෙන් වඩාත්ම හානියට පත් වූ ප්රජාවන්ගේ වෙළෙඳපොළවල්, පාසල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත ප්‍රවේශය යථාතත්ත්වයට පත් කරන මාර්ග සඳහා මෙහිදී ප්‍රමුඛත්වය ලබාදෙයි. ප්‍රතිසංස්කරණය කෙරෙන මාර්ග, අනාගතයේ ඇති විය හැකි ආන්තික කාලගුණික තත්ත්වයන්ට මුහුණ දිය හැකි වන පරිදි, වැඩිදියුණු කරන ලද ජලාපවහන පද්ධති, නියඟ සහ නායයෑම් ආරක්ෂණ ක්‍රමවේද සහ නවීන ඉංජිනේරු තාක්ෂණයෙන් යුතුව ඉදිකරනු ලැබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ලෝක බැංකු සමූහයේ රටේ කළමනාකරු ගෙවෝර්ග් සාර්ජ්සියන් මහතා, "දිත්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සබඳතාවන්ට දරුණු ලෙස බලපෑම් කළ නමුත්, යළි ගොඩනැඟීම අපට වඩාත් ශක්තිමත්ව නැගී සිටීමට ලැබුණු අවස්ථාවක්. මෙය මාර්ග අලුත්වැඩියා කිරීමෙන් ඔබ්බට ගිය කාරණයක්. මෙහි අරමුණ වන්නේ ජීවනෝපායයන් යථා තත්ත්වයට පත් කිරීම, ගොවීන් වෙළෙඳපොළ සමඟත් පවුල් අත්‍යවශ්‍ය සේවාවන් සමඟත් යළි සම්බන්ධ කිරීම සහ වර්තමානයේ ගොඩනැඟෙන යටිතල පහසුකම් අනාගත කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුක්ත වීම සහතික කිරීමයි" යනුවෙන් පවසා සිටියේය.
මෙම නව අරමුදල් සැපයීමත් සමඟ, ක්‍රියාත්මක වෙමින් පවතින සමස්ත සම්බන්ධතා සහ සංවර්ධන ව්‍යාපෘතිය (Inclusive Connectivity and Development Project - ICDP) තවත් වසර තුනකින් දීර්ඝ කරනු ලබන අතර, ඒ සමඟම එම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සම්බන්ධතා සංවර්ධනය සඳහා ලෝක බැංකුව මෙතෙක් සිදු කර ඇති මුළු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 610 ක් දක්වා ඉහළ යයි.
මෙම ආයෝජනය හරහා සෘජුවම පුද්ගලයන් 830,000 කට අධික පිරිසකට ප්රතිලාභ සැලකෙනු ඇතැයි අපේක්ෂිත අතර, ඉලක්කගත දිස්ත්‍රික්ක අටක් ආවරණය වන පරිදි මිලියන දෙකකට ආසන්න ජනතාවක් වෙත එය ළඟා වනු ඇත. තවද, ප්‍රතිසංස්කරණ සහ නඩත්තු කටයුතු හරහා නව හෝ වැඩිදියුණු කළ රැකියා 5,671 ක් පමණ නිර්මාණය වනු ඇති අතර, තේ, එළවළු සහ වී වගා කරන ගොවීන් 22,000 කට ආසන්න පිරිසකට ගැනුම්කරුවන් සහ සැපයුම් දාමයන් සමඟ යළි සම්බන්ධ වීමට ඉඩ සැලසීමෙන් ප්රතිලාභ අත්වනු ඇත.
පසුගිය 2025 නොවැම්බර් මාසයේදී දිවයිනට බලපෑ 'ඩිත්වා' සුළි කුණාටුව හේතුවෙන් සමස්ත දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි පුද්ගලයින් මිලියන දෙකකට ආසන්න පිරිසකට බලපෑම් එල්ල වූ අතර, ඇස්තමේන්තුගත හානිය ඇමරිකානු ඩොලර් බිලියන 4.1 කි. ප්‍රවාහන අංශයට පමණක් පළාත් මාර්ග කිලෝමීටර් 2,000 කට ආසන්න ප්‍රමාණයක්, ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 3,500 කට අධික ප්‍රමාණයක් සහ පාලම් 700 කට ආසන්න ප්‍රමාණයක් ඇතුළුව දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 973 ක හානියක් සිදුව ඇති අතර, එහි ප්‍රතිසාධන අවශ්‍යතා ඇමරිකානු ඩොලර් බිලියන 1.31 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
මෙම ව්‍යාපෘතිය 2026-2030 කාලසීමාව සඳහා වන ලෝක බැංකු සමූහයේ ශ්‍රී ලංකා රට හවුල්කාරීත්ව රාමුවට (Country Partnership Framework) අනුකූල වන අතර, එය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ සහ පෞද්ගලික අංශයේ මූලිකත්වයෙන් යුත් වර්ධනයේ පදනම ලෙස ඔරොත්තු දෙන යටිතල පහසුකම් සහ සම්බන්ධතාවල වැදගත්කම අවධාරණය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
