හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ප්‍රභූන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියමින් රහස් පොලිසිය තමන් අත්අඩංගුවට ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි පවසමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක, නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම අද (15) ඉල්ලා අස් කරගත්තේය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර වෙනත් අංශයක් වෙත යොමු කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාද පෙත්සම්කරුට හිමිවිය යුතු වැටුප ගෙවීම සම්බන්ධයෙන් පොලිස් කොමිසමටද දැනුම් දීමට පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා කළ දැනුම් දීමක් පිළිගනිමින් අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස් කර ගත්තේය.
ප්‍රියන්ත ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද මෙම පෙත්සම කැඳවිණි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ප්‍රභූන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගත් බවත්, එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත්, එම අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම්කාර නාලක ද සිල්වා මහතා සිය පෙත්සම මඟින් ඉල්ලා තිබිණි.
වැඩතහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක ලේකම් , පොලිස්පති , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාට එරෙහිව සිදුකරන විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර වෙනත් අංශයක් වෙත යොමු කිරීම සහ තම සේවාදායකයාට හිමිවිය යුතු වැටුප ගෙවීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් සලකා බැලීමට සූදානම් නම් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට තම සේවාදායකයා කැමැත්ත පළ කරන්නේ යැයි දැනුම් දුන්නේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම විමර්ශන කටයුත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර වෙනත් අංශයක් වෙත යොමු කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් පෙත්සම්කරුගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම විසින් නීතිපතිවරයා ගෙන් උපදෙස් ඉල්ලා ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ළගදීම ජාතික පොලිස් කොමිසම වෙත යවන බවත් දැනුම් දුන්නේය.
එම කරුණුවලට දෙපාර්ශවය විසින් එකඟතාවය පළ කිරීමෙන් අනතුරුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර දුන් අතර ඒ අනුව පෙත්සම්කරුවන් සිය පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලදී.
ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට විනිසුරු මඩුල්ල නියම කළේය.