මේ වනවිට පෞද්ගලික වෙළදුන් විසින් කුණු කොල්ලයට ගොවියාගේ වි අස්වනු මිලදි ගන්නා බවත් වහාම රජය මැදිහත්වි එය නතරකර වී කිලෝවක මිල රුපියල් පනහ දක්වා වැඩිකරන ලෙසත් බලකරමින් අද (13) උදේ ගොවින් පිරිසක් එප්පාවල නගරයේදි තලාව , කැකිරාව මාර්ගය වසා දමා උද්ඝෝෂණයක නියැලුණහ.
එප්පාවල කොට්ඨාස ගොවි සංවිධාන අනුකමිටුව මගින් සංවිධානය කරනු ලැබු මෙම උද්ඝෝෂණය සඳහා ගොවි සංවිධාන 37කට අයත් ගොවීන් 600ක් පමණ සහභාගි වි සිටියහ.
මහවැලි එච් කලාපයේ ගොවීන්ගේ කුඹුරුවල වි අස්වනු නෙලා අවසන් අදියරට පැමිණ තිබුණත් රජය මැදිහත්වි වි කිලෝවක් සඳහා සහතික මිලක් නියමකර නොමැති නිසා කලු කඩ වෙළදුන් රුපියල් 26,30 අතර ඉතා පහළ මිලකට වි කිලෝවක් මිලදි ගන්නා බව මෙහිදි උද්ඝෝෂකයින් පෙන්වා දුන්නේය.
මෙම උද්ඝෝෂණය එප්පාවල නගරයේ තඹුත්තේගම මාර්ගය අසලින් ආරම්භ කර ප්රධාන මාර්ගය දිගේ පොලිස් හන්දිය දක්වා ගමන්කර නැවතත් ආරම්භ කළ ස්ථානයටම උද්ඝෝෂකයින් පැමිණියහ.
පසුව එප්පාවල-තඹුත්තේගම මාර්ගය හා තලාව , කැකිරාව මාර්ග වසා ප්රධාන මාර්ගයේ කිසිදු වාහනයකට යාමට ඉඩ නොදි මාර්ගය හරස්කර ගොවීන් උද්ඝෝෂණයේ නිරත විය.
මෙහිදි උද්ඝෝෂණය සඳහා සහභාගි වි සිටි ගොවීන් අත තිබු පුවරුවල ගොවියා සූරාකෑම නවතනු, වි කිලෝවක අවම මිල රුපියල් 50 දක්වා වැඩිකරනු, ආණ්ඩුවත් මරනින්දේ,ගොවියා අද මහ පාරේ, කෘෂිකර්ම ඇමතිට එන්න කියාපිය,ගොවියට උත්තර දෙන්න කියාපිය ආදි සටන්පාඨ තිබෙනු දක්නට ලැබුණි.