ඉහළ කොත්මලේ ජලාශයේ තිබී තරුණ මළ සිරුරක් තලවාකැලේ පොලීසිය මගින් අද (16දා) සොයා ගනු ලැබීය. මෙම මළ සිරුර නානුඔය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ක්ලින්ටන් ඇලස්ඩ් නැමති අයෙකුගේ බව මියගිය අයගේ ඥාතීන් හඳුනාගෙන ඇත.
මිය ගොස් ඇති තරුණයා අද පස්වරු 03.30 ට පමණ ඉහළ කොත්මලේ සුමන විද්‍යාලය අසලට පැමිණ ඔහුගේ ජංගම දුරකතනයෙන් සෙල්ෆි ඡායාරූපයක්ද රැගෙන ඔහුගේ මුහුණු පොතේ ගිණුමට එම ඡායාරූපය ඇතුළත් කර එහි ඉංග්‍රීසි භාෂාවෙන් “END OF MY LIFE. GOOD BYE GOD” ලෙස සඳහන් කර පැයකට පමණ පසුව ඉහළ කොත්මලේ ජලාශයට පැන ඇති බව තලවාකැලේ පොලීසිය පවසයි.
මෙම තරුණයා ජලාශයට පනින අයුරු අවට පදංචි කරුවන් විසින් දැක තලවාකැලේ පොලීසියට දන්වා ඇත. තලවාකැලේ පොලීසිය, නාවුක හමුදාවේ කිමිඳුම්කරුවන් යොදා මළ සිරුර අද ප.ව. 05.00 ට පමණ ගොඩ ගන්නා ලදී.