ඉදිරියේදී දුප්පත්, පෝසත් භේදයකින් තොරව සියලු නිවෙස් වල වහලය මත සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන වැඩසටහනක් ඇති කරනවා යැයි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව කියාසිටියේ, අනුරාධපුර කුඹුක්වැව නිමල්සිරි විදුහල්වත්තේ වගා කළ අඹ වගාවේ අග්‍රඵලය බුදුන්ට හා දෙවියන්ට පූජා කිරීමේ පුණ්‍ය උත්සවයට සහභාගී වෙමින්ය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
අද පාසල් වල විදුලි බිල විශාල විදුලි බිලක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඉදිරි කාලය තුළ අපි සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න පාසල් වල තියෙන වහල භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. පාසල් වල පමණක් නොවෙයි රජයේ පොදු ගොඩනැගිලි, ආණ්ඩුවේ අමාත්‍යංශය ගොඩනැගිලි, මේ සියල්ලගේම පුලුවන් උපරිම ප්‍රමාණයක් සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරලා 2030 වන විට පුනර්ජනනීය බලශක්තිය මගින් 80% ක් විදුලිය නිෂ්පාදනය කිරීම තමයි අපේ ඉලක්කය හා බලාපොරොත්තුව වෙලා තියෙන්නේ.
සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය රජයේ ගොඩනැගිලි වලට පමණක් නෙමෙයි සීමා කරන්නේ, මේ වන විටත් සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරනවා නිවාස වල වහලය මත. හැබැයි ඒ සඳහා හැකියාව තියෙන්නේ යමක් කමක් තියෙන පවුල් වලට විතරයි.අපි ඉදිරියේදී දුප්පත්,පෝසත් භේදයකින් තොරව සියලු නිවෙස් වල වහලය මත සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන වැඩසටහනක් ඇති කරනවා.
අද මේ රට වෙනස් වෙමින් යනවා. වෙනස් වෙන්නේ හොඳ පැත්තට කියලත් පේන්න තියෙනවා.ඒ නිසා අපි සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා, රටක් හොඳ පැත්තට යන කොට පක්ෂ-පාට, කුළ-මල භේදයකින් තොරව හොඳ දේට හොඳයි කියන්නත්, නරක දේට නරකයි කියන්නත් අපි අධිෂ්ඨාන කර ගත්තොත් මේ වසර 05 තුළ අපිට පුළුවන්කම ලැබෙයි මේ රට වෙනස් කරන්න අලුත් කරන්න යැයි පැවසීය.