සෞඛ්‍ය සේවාවේ විවිධ ක්ෂේත්‍ර සඳහා බඳවා ගන්නා පුද්ගලයන් 2,150 දෙනෙකුට අද (05දා) දිනයේදී පත්වීම් ලිපි ප්රදානය කිරීමට නියමිතය.
මේ යටතේ වෛද්‍ය සැපයීම් සහකාර තනතුර සඳහා 53 දෙනෙකුට පත්වීම් ලබාදීමට නියමිත අතර, මෙම පිරිසට පත්වීම් ලබාදුනහොත් හෙට (06දා) සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
කෙසේ වුවද අද (05දා) දිනයේදී විශේෂ ශ්‍රේණිය වෛද්‍ය රසායානාගාර කාර්මික විද්‍යාඥ 13ක්, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ 116ක්, ඖෂධවේදී 176ක්, විකිරණ ශිල්පී 41ක්, විද්‍යුත් නිකර්පන රේඛන සටහන්කරු 09ක්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී 10ක්, දන්ත චිකිත්සක 03ක්, සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී 845ක්, වෛද්‍ය සැපයීම් සහකාර 53ක්, නිවාස භාරකාරීනී/භාරකරු 131ක්, ආහාර නිරීක්ෂිකා 54ක්, ෆෝක් ලිෆ්ට් 07ක්, උපස්ථායක (පුහුණුව සඳහා) 692ක් වශයෙන් 2,150 දෙනෙකුට පත්වීම් ලබාදීමට නියමිතය.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05දා) පස්වරු 2.00ට අරලියගහ මන්දිරයේදී මෙම පත්වීම් ලබාදීම සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
කෙසේ වුවද මෙලෙස පත්වීම් ප්රදානය කිරීමේදී වෛද්‍ය සැපයීම් සහකාර තනතුර සඳහා බඳවා ගැනීමට නියමිත 53 දෙනාට සෞඛ්‍ය සේවයට අදාළ සුදුසුකම් හෝ දැනුවත්කමක් නොමැති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
ඖෂධ නිකුත් කිරීම සඳහා ගුණාත්මක සෞඛ්‍ය සේවය පිළිබඳ දැනුවත්කමත් පැවතීම අත්‍යවශ්‍ය බවත්, මෙම බඳවා ගන්නා තනතුරේ කටයුතු කිරීමට ඖෂධවේදීන්ට හැකියාව තිබෙන බවත් ඔවුහු සඳහන් කරති.
මේ හේතුවෙන් මෙලෙස මෙම පත්වීම් 53 ලබාදුනහොත් හෙට (06දා) සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බවද රජයේ ඖෂධවේදීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් කළ විමසීමේදී හෙතෙම සඳහන් කළේ යම් ප්‍රශ්නයක් විසඳා ගැනීමේ අවසන් තුරුම්පුව වැඩවර්ජන කිරීම බවත්, මුලින්ම සාකච්ඡා නොකර වැඩවර්ජනයකට යොමුවීම අනුමත කළ නොහැකි අතර, ඉදිරියේදී ඖෂධවේදීන්ගේ සංගමය සමග සාකච්ඡා කරන බවත්ය.