ශ්‍රී ලංකාවේ උත්තරිතර ආයතනය ලංකාවේ ලොකුම මොන්ටිසෝරිය බවට පත් වී ඇති බව ජාතික උරුමයන් ප්‍රාසාංග කලා හාග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කීය.
ඉන්දියාවේ ලක්නව් භාත්ඛණ්ඩ විද්‍යා පීඨය මගින් පවත්වනු ලබන වාර්ෂික විභාග සඳහා මහනුවර සඳැස කලා පීඨය මගින් ඉදිරිපත් ව සාර්ථකව අවසන් කර විශාරදයින් බවට පත්වූ සිසු සිසුවියන් සඳහා සම්මාන පිරිනැමීටත් සහ ගුරු ඇගයිම වෙනුවෙන් පැවති උත්සවයක් අමතමින් නියෝජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එසේ කීය. මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ සම්මන්ත්රණ ශාලාවේදී මෙම උත්සවය අද 12 වනදා පැවැත්විණ. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමිත්ය විදුර වික්‍රමනායක මහතා මෙසේද කීය.
අපේ රටේ සංස්කෘතිය කියන එක නිර්වචනය කිරීමේදී හෝ අර්ථ දැක්වීමේදී විශාල වැරැද්දක් සිද්ධ කර ගෙන තියෙනවා. සංස්කෘතිය කියන දේ සීමා කරල තියෙනවා යම් යම් විෂයයන්ට. සංස්කෘතිය කියන එකට සීමාවක් නෑ. කෘෂිකර්මයත් සංස්කෘතියේ කොටසක්. වෛද්‍ය විද්‍යාවත් සංස්කෘතියේ කොටසක් .අපේ රටේ වුනත් ලෝකයේ වුනත් මේ හැම දෙයක්ම සංස්කෘතියේ කොටසක් සංස්කෘතිය කියන්නේ මේකයි කියලා සීමා කරන්න බෑ. මේක අපේ රටේ සමහර විට දෙශපාලඥයින් වෙන්න පුළුවන්. සමහර විට නිලධාරින් වෙන්න පුළුවන්. සමහර වෙලාවන්වල ඒ විෂයයන්ට සම්බන්ධ අය වෙන්නත් පුළුවන්. ඒ අය කරන වැරැද්දක් කියලයි අපි හිතන්නේ. අපේ රට ගත්තහම සංස්කෘතියකමය වශයෙන් මොන තරම් විවිධත්වයක් තියෙන රටක්ද? ලෝකයේ රටවල් ගත්තොත් ශ්‍රී ලංකාව තමයි සංස්කෘතික විවිධත්වයෙන් ඉහළම රට. නර්තන සම්ප්‍රදායන් වේවා. ගායන සම්ප්‍රදායන් වේවා අනෙකුත් සම්ප්‍රදායන් වේවා වෛද්‍ය , හෙළ වෙදකම වගේ දේවල් ගත්තහම කෘෂිකර්මය මොන තරම් විවිධත්වයක් තියෙන රටක්ද මේක. එහෙම රටක මිනිස්සු කොයි තරම් පිටරට යන්න වලි කනවද? අපේ රටට තියෙන ආදරය ගෞරවය නැති වුණේ. මම එක කණ්ඩායමකට පමණක් දොස් කියන්නේ නෑ. සරල මාතෘකාව වෙලා තියෙන්නේ දේශපාලඥයින් කියන කට්ටියනේ. මේක අපි හැමෝම කරන වරදක් හැටියටයි මම දකින්නේ.අපි හැමෝම කරන වරදක්. රටක් දියුණු වෙන්න විනය අවශ්‍යයි.විනය කියන කොට ඔබට මතක් වෙනවා පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ උත්තරීතරයි කියන ආයතනය ලංකාවේ ලොකුම මොන්ටිසෝරිය බවට පත් වෙනවා. අපේ රටට ශ්‍රී ලංකාවට වරහන් ඇතුළේ කකුළුලන්තය කියල ලිව්වනම් නම් හොඳයි. මොක්ද අපි හමෝම දරුවන්ට උපදෙස් දෙනවා. පොඩි අයට උපදෙස් දෙනවා නමුත් අපි වැඩිහිටියෝ හැටියට වැරදි කරනවා. එහෙම වැරදි කර කර දරුවන්ට අපි උපදෙස් දෙනවා. ඉතින් කොහොමද අපි රටක් හරියට මෙහෙය වන්නේ. විනයක් නැති රටකට ඉදිරියට යන්න බෑ. ඒ වගේම තමයි නිර්මාණශිලීභාවයක් නැති මිනිස්සු ඉන්න රටක් කවදාවත් ඉදිරියට යන්නෙත් නෑ. නිර්මාණශිලිභාවය ඇති වෙන්න නම් නිර්මාණශීලිත්වය ඇති වන්න නම් මිනිස්සුන්ට කලාව සෞන්දර්යය සාහිත්‍යය වගේ දේවල් හුරුපුරුදු කරන්න ඕන. ඉතිහාසයෙන් මිනිස්සුන්ගේ අදහස් කුළුගන්වන්න ඕන. උරුමයන ගැන ගෞරවයක් තියෙන්න ඕන. මේවා නැති වෙලා. මේවා ගැන තැකීමක් නෑ. එහෙව් රටක් කොහොමද දියුණු වෙන්නේ. සංවර්ධනය කියන්නේ සිමෙන්ති ගොඩවල් නෙවෙයි. මිනිස්සු සංවර්ධනය වෙන්න නම් ඇතුලතින් සංවර්ධනය වෙන්න ඕන. මනුස්සකම කියන දේ ඇති වෙන්න ඕන.ඒවාඇති කරන්න පුළුවන් කලාව සාහිත්‍යය සෞන්දර්යය වැනි දේවලින් .මේ අපේ උරුමය. අද මේවට පයින් ගහලා පැත්තකට දාලා . රුපියල් සත පස්සේ පමණක් නෙවෙයි ඩොලර් පස්සෙත් දුවන්න පටන් අරන්. අපේ අදහස් උරුමයන් පාවල දෙන තත්වයට පත් වෙලා. කොහොමද අපි දියුණු වෙන්නෙ. විනයක් නිර්මාණශිලිභාවයක් නැති රටක අභිමානය කියන දේ ඇති වෙන්නේ නෑ. ඒ අභිමානය ඇති වෙන්න නම් අනිවාර්යෙන්ම විනය සහ නිර්මාණශිලිභාවය ඇති වෙන්න ඕන .යැයිද කීය.
මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්ව විද්යාලයේහිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් බී දිසානායක, මහතාඇතුළු කිහිප දෙනෙකුම එක් වූහ.සඳැස කලා පීඨයේ පීඨාධිපතිනි තනුජා කුමරි ඒකනායක මහත්මිය මෙහිදී වාර්ෂික වාර්තාව ඉදිරිපත් කළාය.
මහනුවර මොහොමඩ් ආසික්