ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ සහ වෘත්තීය ප්රවණතාවන්හි සුවිශේෂී සමාජයීය පරිවර්තනයක් සනිටුහන් කරමින්, තමන් වෛද්‍ය විභාග පරීක්ෂණ සිදු කළ දීර්ඝ කාලය තුළ ප්‍රථම වතාවට එකදු පිරිමි සිසුවෙකු හෝ නොමැති, මුළුමනින්ම ශිෂ්‍යාවන්ගෙන් පමණක් සමන්විත අවසන් වසර වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමකට මුහුණ දීමට සිදු වූ බව කැළණිය විශ්වවිද්‍යාලයේ (රාගම) වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා ප්‍රකාශ කරයි.
තැබූ විශේෂ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ මේ පිළිබඳව කරුණු හෙළි කරමින් මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ, මෙය මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය තුළ කාන්තා නියෝජනයේ ඉදිරි ගමන්මඟ පිළිබඳ පැහැදිලි සලකුණක් බවයි.
වසර 22කට අධික කාලයක් තිස්සේ වෛද්‍ය පීඨවල අවසන් වසර සිසුන්ගේ සායනික සහ ශාස්ත්‍රීය විභාග කටයුතු පරීක්ෂා කිරීමේ නිරතව සිටින බව සඳහන් කරන මහාචාර්ය අර්ජුන ද සිල්වා, එම දීර්ඝ අත්දැකීම් කාල සීමාව තුළ විභාගයට පෙනී සිටි නිශ්චිත කණ්ඩායමක එකදු පිරිමි වෛද්‍ය ශිෂ්යයෙකුවත් වාර්තා නොවූ පළමු අවස්ථාව මෙය බව වැඩිදුරටත් පවසයි.
මෙම තත්ත්වය අනාගතයේදී මෙරට වෘත්තීය සහ අධ්‍යාපනික ක්ෂේත්රයන් තුළ ඇති විය හැකි ව්‍යුහාත්මක වෙනස්කම් සහ ප්රවණතාවන් පිළිබඳ කල්තියා පෙන්නුම් කරන සාධකයක් (A sign of the times to come) ලෙස ද ඔහු හඳුන්වා දී ඇත.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සහ විශේෂයෙන්ම වෛද්‍ය වැනි ඉහළ තරඟකාරී පීඨයන්හි සිසුවියන්ගේ ප්‍රගතිය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික අධ්‍යාපන දත්ත ද සනාථ කරයි.
වෛද්‍ය වෘත්තියේ සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉදිරි වගකීම භාර ගැනීමට මෙරට කාන්තාවන් සතු සූදානම මෙයින් මනාව පැහැදිලි වන බව පෙන්වා දෙන මහාචාර්යවරයා, මෙරට කාන්තාවන් අමතමින් අදහස් දක්වමින්, "ශ්‍රී ලංකාවේ කාන්තාවනි, ඔබ මේ පිළිබඳව ආඩම්බර විය යුතුයි - වෘත්තීය වගකීමේ පන්දම (The torch) දැන් නිල වශයෙන් ඔබ වෙත පැවරී තිබෙනවා" යනුවෙන් ද අවධාරණය කර සිටියි.
D.N.අභයවර්ධන
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
