අතුරුපසක් සැරසීමට කුහුඹුවන් ගත් කොරියානු අවන්හලකට දඩ
අතුරුපසක් සැරසීම සඳහා කුහුඹුවන් භාවිතා කළ බවට චෝදනා එල්ල වී ඇති, මිෂලින් තරු' (Michelin-starred අවන්හලක හිමිකරුට වසරක සිර දඬුවමක් ලබා දෙන ලෙස දකුණු කොරියානු නීතිපති අංශ ඉල්ලා සිටි බව එරට දේශීය මාධ්‍ය වාර්තා කළේය.
එරට නීතියට අනුව මිනිස් පරිභෝජනය සඳහා අනුමත කර ඇති කෘමීන් විශේෂ 10 අතරට කුහුඹුවන් අයත් නොවේ.
මිෂලින් තරු දෙකක් හිමි මෙම අවන්හලට කොරියානු වොන් මිලියන 20ක (ඇමරිකානු ඩොලර් 13,510ක් හෝ
බ්‍රිතාන්‍ය පවුම් 10,100ක් පමණ) දඩ මුදලක් නියම කරන ලෙස ද නීතිපති අංශ සඳුදා ඉල්ලා සිටියේය.
කුහුඹුවන් ආහාර සඳහා යොදාගත් බව හිමිකරු පිළිගත් නමුත්, අවන්හලේ ආහාර වේල් 15කින් සමන්විත මෙනුවෙහි
ඉතා කුඩා කොටසක - එනම් 'සෝබේ' (sorbet) අතුරුපස මත සැරසිල්ලක් ලෙස - පමණක් ඒවා භාවිතා කළ බවත්,
කුහුඹුවන් නොමැති සැරසිලි තෝරා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලබා දී තිබූ බවත් ඔහු තර්ක කළේය.
කුහුඹුවන් ඉසින ලද ආහාරවල ඡායාරූප සහිතව පාරිභෝගිකයින් අන්තර්ජාලයේ පළ කර තිබූ විවිධ අදහස් හා
සමාලෝචන (reviews) ආහාර හා ඖෂධ සුරක්ෂිතතා අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට
ලක්වීමෙන් අනතුරුව මෙම සිද්ධිය අනාවරණය විය.
වසර හතරක කාලයක් තුළ විවිධ ආහාර වර්ග සඳහා ඇමරිකාවෙන් සහ තායිලන්තයෙන් ආනයනය කරන ලද
කුහුඹුවන් 49,000ක් පමණ භාවිතා කර ඇති බව විමර්ශකයින් විසින් ගණන් බලා ඇත.
'ද චොසුන් ඩේලි' (The Chosun Daily) පුවත්පතේ වාර්තාවකට අනුව, "සාමාන්‍යයෙන් ආහාරයට ගත
හැකි කෘමීන්ට වඩා 55 ගුණයක් දක්වා වැඩිපුර බැර ලෝහ අඩංගු" කුහුඹුවන් මෙම අවන්හල විසින් භාවිතා කර ඇති
බව සෞඛ්‍ය බලධාරීන් විසින් සොයා ගන්නා ලදී.
කෘමීන් ආහාරයක් ලෙස අනුමත කළ හැකිද යන්න තීරණය කිරීමේදී දකුණු කොරියානු බලධාරීන් නිර්ණායක
කිහිපයක් සැලකිල්ලට ගනී. ආහාර සුරක්ෂිතතා අවදානම්, විෂ සහිත බව, පෝෂණ අගය සහ සනීපාරක්ෂකව
බෝ කිරීමට හා සැකසීමට හැකිද යන්න ඊට ඇතුළත් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
