රිටිගල හා පිළිකුත්තුව ප්‍රදේශයන්ගෙන් ශ්‍රී ලංකාවට ආවේනික නව දිවාසැරි හූනන් දෙදෙනෙකු සොයාගන්නට පර්යේෂකයන් සමත්වී ඇත. එම හූනන් දෙදෙනා Cnemaspis gunawardanai හා Cnemaspis gunasekarai යනුවෙන් නම්කර ඇත්තේ මෙරට පරිසරය වෙනුවෙන් ඉමහත් සේවාවක් කළ පරිසරවේදින් යුගලක් වන සමන්ත ගුණසේකර හා ආචාර්ය ජගත් ගුණවර්ධන යන මහත්වරුන්ට ගරු කිරීමක් වශයෙන් බව පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු වන සමීර සුරංජන් කරුනාරත්න මහතා 'අද'ට පැවසුවේය .
මෙම නව හූනන් දෙදෙනා සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ පර්යේෂණය සඳහා දායක වූ තසුන් අමරසිංහ , සමීර සුරංජන් කරුණාරත්න, ඇන්ස්ලම් ද සිල්වා හා මජින්ත මඩවල යන පර්යේෂකයින් සිව් දෙනාටය.
මෙලෙස ශ්‍රී ලංකාවට ආවේනික නව දිවාසැරි හූනන් විශේෂ දෙක සම්බන්ධ විද්‍යාත්මක පත්‍රිකා Taprobanica විද්‍යා සඟරාවේ දසවන වෙළුමේ පළමු කලාපයේ ප්‍රකාශයට පත් කර ඇත. මේ අනුව පර්යේෂකයින් රිටිගල රක්ෂිතය ආශ්‍රිතව සිටින ගහණය, ශ්‍රී ලංකාවේ උඩවැඩියා විශේෂ පිලිබඳ පර්යේෂණ සිදුකරන හිටපු නියෝජ්‍ය රේගු අධ්යක්ෂ හා පරිසරවේදී සමන්ත ගුණසේකර මහතා හට ගෞරවයක් ලෙස ගුණසේකරගේ දිවාසැරි හූනා (Cnemaspis gunasekarai )යනුවෙන් නම් කර ඇත.
පිළිකුත්තුව ගල්ලෙන් විහාරය ආශ්‍රිතව හමු වූ විශේෂය පරිසර නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ පරිසරය වෙනුවෙන් සිදුකරන සේවාවට ගරු කිරීමක් වශයෙන් ගුණවර්ධනගේ දිවාසැරි හූනා ( Cnemaspis gunawardanai) යනුවෙන් නාමකරණය සිදු කර ඇත. මෙම සොයාගැනීමත් සමග ශ්‍රී ලංකාවේ දිවාසැරි හූනන් විශේෂ සංඛ්‍යාව 40 දක්වා වැඩි වේ.
''මේ නව දිවාසැරි හූනන් විශේෂ දෙක පිළිබඳ සදහන් කළ යුතු වැදගත්ම කාරනාව තමයි මේ හූනු විශේෂ දෙකම දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට මුහුණ දී තිබීම. අපි බැලුවොත් ගුණසේකරගේ දිවාසැරි හූනන්ගේ ගහන ගනත්වය යම් හොඳ මට්ටමක තිබෙනවා.
මේ විශේෂය රිටිගලින් හමුවෙන නිසා එම විශේෂයට වනජීවි එකෙන් ආරක්ෂාව ඉතාම හොඳින් ලැබෙනවා. නමුත් පිළිකුත්තුව ගැන බැලුවම එය පුරාවිද්‍යා සංරක්ෂිත ස්ථානයක් පමණයි. එම ස්ථානයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ වනජීවි දෙපාර්තමේන්තුවේ රැකවරණයක් නැහැ. පිළිකුත්තුව, මාලිගාතැන්න, වාරණ යන කුඩා පරිසර ඒකකය ඉතාම වැදගත් මේ ගුණවර්ධනගේ දිවාසැරි හූනාට. මේ හූනු විශේෂයේ ගහන ඝනත්වය බැලුවොත් 10කට 15කට වඩා නැහැ.
මේ පරිසරයට යම් හානියක් වුණොත් මේ සතා ලෝකයෙන්ම වඳ වී යාවී.ඒ නිසා මේ විශේෂය රැක ගැනීමට යම් ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් එය ඉතා වැදගත් වේවි." යැයි අදට අදහස් දක්වමින් පර්යේෂක සමීර සුරංජන් මහතා වැඩිදුරටත් පැවසුවේය.