ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්රයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුවහන් කරමින් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ මග පෙන්වීම සහ නායකත්වය මත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ 08 වසර සියලුම පන්ති කාමර අද (07) දිනයේ සිට සුහුරු පන්ති කාමර බවට පත් කරන ලදී.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ පාසැලක සමස්ත ශ්‍රේණියක්ම සුහුරු පන්ති කාමර බවට පත්වන පළමු අවස්ථාව මෙය වේ.
මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ විදුහල්පති ලුතිනන් කර්නල් D .A .D . වානගුරු මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී විය.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ මගපෙන්වීම සහ නායකත්වය මත 2017 වසරේ ජනවාරි 13 වනදා ටැබ්ලට් පරිගණක මගින් අධ්‍යාපන කටයුතු සිදුකරන මෙරට පළමු සුහුරු පන්ති කාමරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ ආරම්භ කළ අතර එහි සාර්ථකත්වය මත දෙමව්පියන් සහ ගුරුවරුන්ගෙන් ලැබුණු විශාල ඉල්ලුම සලකා බලමින් මෙම නව සුහුරු පන්ති කාමර සංකීර්ණය ගොඩනගා තිබේ.
මෙම නව සංකීර්ණයට අංග සම්පූර්ණ සුහුරු පන්ති කාමර 05 ක් ඇතුළත් වන අතර සිසුන් 160 දෙනෙකුට ටැබ්ලට් පරිගණක භාවිතා කරමින් සිය අධ්‍යයන කටයුතු කිරීමේ අවස්ථාව මෙහිදී හිමිවේ. මෙම සිසුන්ට cloud smart තාක්ෂණය ඇති නවීන සුහුරු පුවරු, මෘදුකාංග සහ ටැබ්ලට් පරිගණක භාවිතා කරමින් ඉගෙනීමේ අවස්ථාව උදාවේ.
මෙම සුහුරු පන්ති කාමර සංකීර්ණය පිළිබඳව අදහස් දක්වමින් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුයේ,
“මම මෙම වැඩසටහන ආරම්භ කළේ මෙරට අධ්‍යාපන ක්ෂේත්රය පිළිබඳව අළුතින් සිතා බැලීම සඳහා උනන්දු කරවීමටයි. මම හිතන්නේ අපගේ උත්සාහය සාර්ථක වෙලා තිබෙනවා. අප විසින් ආරම්භ කළ පළමු සුහුරු පන්ති කාමරය ගැන දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් සතුටු වෙනවා. මෙම වැඩසටහන තව තවත් පුළුල් කරන්න කියා ඔවුන් ඉල්ලා සිටියා. ඒ නිසයි, අද මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ රජයේ පාසැලක් තුළ පළමු වතාවට සුහුරු පන්ති කාමර සංකීර්ණයක් ආරම්භ වෙන්නේ.” යනුවෙනි.
කෂිනි හපුආරච්චි