ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට ලද අවස්ථාව පිළිබඳව තමා අතිශය සතුටට පත්වන බව රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රෝව් මහතා පවසයි.
තමා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ සේවයේ නියුතුව සිටියදී දක්නට ලැබුණාට වඩා සාධනීය පරිවර්තනයක් රට තුළ සිදුව ඇති බව අද (14දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී රුසියානු විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.
ආර්ථික සංවර්ධනය, මානවවාදී අභිලාෂ හමුදා සහයෝගිතාවය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳව ජනාධිපතිවරයා සහ ලැව්රෝව් අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේ දී විශේෂ අවධානය යොමු කෙරිණ.
මෙරට චාරිකාවක නිරතවීම පිළිබඳව ජනාධිපතිවරයා රුසියානු විදේශ අමාත්‍යවරයාට සිය ස්තූතිය පුද කළේය. දෙරට අතර නව ගුවන් ගමන් ඇරඹීමේ හැකියාව පිළිබඳව සොයා බැලීය.
ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී රුසියාව කැඩෙට් සිසුන්ට ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ වැඩසටහන ආරම්භ කළ බව සිහිපත් කළ විදේශ අමාත්‍යවරයා මේ වන විට එය සිසුන් 70 දක්වා ඉහළ නංවා ඇති බවද පැවසීය.