ලොව පුරා පිහිටි පාර්ලිමේන්තු 170ක් අතරින් ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ඉතා උසස් තත්ත්වයට පත්ව ඇති බවත්, එය මේ වනවිට ලොව ආදර්ශවත් පාර්ලිමේන්තුවක් බවට පත්ව ඇති බවත් කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
එතුමා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය නව වසරේ රාජකාරි ආරම්භ කිරීමේ උත්සවයට අද එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු කථානායකවරයා,
“මේ වනවිට අලුත් ජනාධිපතිවරයෙක් පත්ව සිටිනවා. අලුත් ආණ්ඩුවක් ක්‍රියාත්මයි. ඉදිරියේ දී මහමැතිවරණයක් පැවැත්වෙනවා. එහිදී නව කථානායකවරයෙක් පත් වෙන්න පුළුවන්. එතුමා මෙම තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇතැයි මා විශ්වාස කරනවා” යැයිද කථානායකවරයා පැවසීය.
2015 සැප්තැම්බර් මාසයේ තමා කථානායක ධූරයට පත්වන විට සිදුකල ප්‍රාර්ථනාවක් වූයේ පාර්ලිමේන්තුව තුළ සහෝදරත්වය ඇතිකිරීම සහ, එකම පවුලක් ලෙස කටයුතු කිරීම බවත් ආපසූ හැරී බැලීමේදී ඒ පිළිබදව සතුටු විය හැකි බවත් ඔහු පැවසීය.
“රටට නිදහස ලැබී වසර 71 ක් ගතව තිබෙනවා. එම කාලය තුළ රට අපස්සට ගමන් කළා. රට තුළ පැවැති ත්‍රස්තවාදය ,තරුණ අසහනය ,දේශපාලන ගැටලු හා පැවැති ජාති හා ආගම් භේද ඊට හේතු වුණා. රටට සෞභාග්‍ය ඇති කළ හැක්කේ ජාති හා ආගම් භේද ඇතුළු එවැනි ගැටලු තුරන් කිරීමෙන් පමණයි. ජාතින් අතර සහයෝගය හා සුහදත්වය ඇති කළ යුතුයි. රටේ අනාගතය සදහා එය ඉතා වැදගත් වනවා යැයිද කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.