වවුනියාව කුඩකච්චකොඩි ප්රදේශයේ රක්ෂිතයක තිබී දිරා ගිය ගිනි අවි ඇතුළු යුද උපකරණ තොගයක් ඊයේ (16) දින හමු වූ බවට වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසූහ.
වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී මෙම යුද උපකරණ තොගය හමු වී ඇති අතර අදාළ යුද උපකරණ තොගය යුද සමයේදී කොටි සංවිධානය විසින් දමා යන්නට ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සැක පළ කර කරති.
එහිදී හමු වූ යුද උපකරණ අතර එම්.පී.එම්.ජී. තුවක්කු බැරල් 59ක්, ටී.56 තුවක්කු බැරල් 05ක්, එච්.කේ.11 ගිනිඅවි බැරල් 02ක්, මිලිමීටර් 60 මෝටාර් උණ්ඩ 01ක් මේ අතර වෙයි.
මෙසේ හමු වූ යුද උපකරණ තොගය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් වවුනියාව පොලීසියට භාර දී ඇති අතර අධිකරණ නියෝගයකින් අදාළ යුද උපකරණ තොගය විනාශ කිරීමට පියවර ගෙන ඇති බවටද වවුනියාව පොලීසිය පවසයි.