ජනාධිපතිවරණයේ ප්‍රචාරණය නැවැත්වීම සඳහා ඉතිරිව ඇති පැය 72 ක කාලය තුළ විවිධ ජවනිකාවන් රඟදැක්වීම් විවිධ කතා පතුරුවා හැරීම සමහර අයට පපුවේ අමාරුව සෑදීම හා ජනතාව නොසිතන සිදුවීම් රැසක් සැලසුම් සහගතව ක්‍රියාත්මක වීමට නියමිත බවත් එවැනි ව්‍යාජ රඟපෑම් වලට ජනතාව නොරැවටෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අද ( 12 ) දින දඹුල්ල ප්‍රදේශයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව අනාවරණය කළේය.
විවිධ කණ්ඩායම් බුද්ධි අංශ වාර්තා සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ වාර්තා බව පවසමින් ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් ලබාගන්නා ඡන්ද ප්‍රමාණය බව ප්‍රකාශ කරමින් ව්‍යාජ තොරතුරු මුදා හරිමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීජිත හේරත් මන්ත්‍රීවරයා,
"ජාතික ජන බලවේගයේ ප්‍රචාරණ කටයුතු ඉතා සාර්ථක ලෙස අපි නිම කරනු ලැබුවා. රට ගොඩනගන ප්‍රතිපත්ති මාලාව ගෙයින් ගෙට ගොස් සියලු දෙනා දැනුවත් කළා . මේ රටේ වැරදි ආර්ථික දේශපාලන ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කරමින් නව විකල්ප දේශපාලන ප්‍රතිපත්තියක් මුළු රටේම අපේක්ෂාව වෙලා තිබෙනවා . කොළ පාට නිල් පාට සහ අනෙකුත් පාට ජනතාවට එපාවෙලා තියෙන්නේ. ඒ නිසා රටේ බහුතරයක් ජනතාව අලූත් දේශපාලන නායකත්වයක් ඉල්ලා සිටිනවා. ඒ සඳහා අනුර කුමාර දිසානායක සහෝදරයා අපි ඉදිරිපත් කරලා තියෙන්නේ.
අනෙකුත් අපේක්ෂකයන් සුපුරුදු පරිදි පොරොන්දු මල්ලක් ජනතාව ඉදිරියේ ලබාදීම සිදු කරනවා. අවසන් වන විට වියළි ආහාර මල්ලට දක්වාම පහළ වැටිලා තිබුනා. 70 දශකයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හදෙන් හරි හාල් ගෙනත් දෙන විත්තිය සඳහන් කළා. අවසානයේ දී රටේ ජනතාවට සුනුසහල් කැඳබිමට සිද්ධ වුණා.
පසුගිය කාලයේ ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ විදුලි පුටුව පෙන්නුවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විදුලි පුටුවට අරන් යනවා කියලා ජනතාව බිය වැද්දූ බියවද්දලා ජනතාවගේ කැමැත්ත ගත්තා අද පාස්කු ඉරිදා ප්‍රහාරය මුල් කරගෙන ජනතාව නැවත මුළාවට පත් කරමින් ජාතික ආරක්ෂාව පදනම් කරගෙන අලුත් වෙනසක් අවශ්‍ය බව ඔවුන් කියනවා.
ඒ වගේම තවත් පාර්ශ්වයක් ගෝඨා නැමති බිල්ලෙක් මවල ඔවුන්ගේ නොහැකියාවන් වසාගෙන මහා බැංකු කොල්ලය ජනතාවගෙන් අමතක කරවලා ඡන්දය ඉල්ලාගෙන එනවා තමන්ගේ බංකොලොත්භාවය වහගන්න උත්සහ කරනවා. මේ දෙක ම වැරදියි. ජාතිවාදය ආගම්වාදය පතුරුවමින් පාර්ශව දෙකම ඡන්දය ලබා ගැනීම සඳහා උත්සාහ දරමින් ඉන්නවා. පොරොන්දු වලට බියවැද්දීම් වලට ජනතාව බිය විය යුතු නැහැ. ජාතිවාදය පරදවා පොරොන්දු දේශපාලනය පරදවා පිරිසිදු දේශපාලනය ජයග්‍රහණය කරමු.
අපේ රටේ නීතිය කඩා වැටීම කොපමණද කියලා ජනතාව දන්නවා. මෑතම ආසන්නම සිද්ධිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ස්ත්‍රී දූෂක අපරාධ කෙනෙකුට හදිස්සියේ පොදු සමාව දීලා මුදාහරිනවා. මේ රටේ ස්ත්‍රී දූෂණ වලට කුඩු ජාවාරම්වලට ජන මතයක් ගොඩ නැගෙමින් පවතිනවා . ජනාධිපතිවරයා පසුගිය කාලේ කුඩුකාරයින් එල්ලා මැරිය යුතු කියපු වෙලාවේ මෙවැනි ස්ත්‍රී දූෂක මිනීමරුවන් නිදහස් කරන්නේ කොහොමද. ජනාධිපති බලය පාවිච්චි කරලා තනි පුද්ගලයෙක් වටා ඇති මෙම අනිසි බලය පාවිච්චි කිරීමක් මෙතන වෙන්නේ .ගෙදර යන ගමන් විශ්‍රාම යන ගමන් තව දවස් දෙක තුනකින් ගෙදර යනවා එහෙම තියාගෙන මුළු ලෝකෙම හෙල්ලුම් කන සිද්ධියක් තමයි මේ තීරණය මේක නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමක්. ඒ නිසා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ අපේ පැහැදිලිවම සඳහන් කරල තියෙනවා මේ අනියත බලය ඉවත් කිරීම. එ වගේම ජනාධිපතිවරයෙකුට මෙයාකාරයෙන් සිරකරුවන් නිදහස් කිරීමේ ඇති බලය ඉවත් කරනවා කියලා”.
දඹුල්ල - කාංචන කුමාර