සාලියවැව පොලිස් වසමට අයත් කුඹුක්කල්ල දිවුල්ගස්වැව ප්රදේශයේ දී වනඅලියෙකු පහරදීමෙන් මියගිය බව කියන පුද්ගලයෙකු ගේ සිරුරක් ඊයේ (1) රාත්රී 9ට පමණ පැය හතරක පමණ මෙහෙයුමකින් පසුව සොයාගත් බව සාලියවැව පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ කුඹුක්කල්ල දිවුල්ගස්වැව ප්රදේශයේ පදිංචි තිදරු පියෙකු වන රංවල ආරච්චිගේ අනුර නිස්සංක රංවල (38) නමැති අයෙකු බවද පොලීසිය පවසයි.
මෙම පුද්ගලයා දිවුල්ගස්වැව ප්රදේශයේ පදිංචි අසල්වාසී ඥාති පුද්ගලයන් පිරිසක් සමග එදින පෙරවරුවේ ගමට කිලෝමීටර් 3ක් පමණ දුරින් පිහිටි නිකුන්නෑව කුඹුරු යායට ගොස් දහවල් 2කට පමණ ආපසු එන අතර මග කැලෑබද මාර්ගයකදී මෙම අනතුර සිදුවී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වි ඇති බවත් පොලීසිය පවසයි.
අනතුරින් දිවි බේරාගෙන ගමට පැමිණි සෙසු පුද්ගලයන් ගෙන් ලද තොරතුර මත සවස සිට වනජීවී දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ගම්වාසීන් පිරිසක් සමග එක්ව වනඅලින් එම පෙදෙසින් පළවාහැරීම සදහා අලිවෙඩි පුපුරවා හරිමින් මහත් පරිශ්රමයක් දරා මෙම මෙහෙයුම සිදුකළ බවත් පොලීසිය සඳහන් කරයි.
මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය අද ( 2 ) දින පුත්තලම මූලික රෝහලේදී පැවැත්වීමට නියමිත විය.
කරුවලගස්වැව - ජයරත්න වික්රමාරච්චි