විදේශ රැකියා කර්මාන්තයේ සංවර්ධනය හා ආදායම් ඉහල නැංවීම සඳහා යෝජනා මාලාවක් සකස් කිරීමට කාර්යාංශයේ සභාපති විසින් පත් කල කමිටුවේ වාර්තාව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා වෙත, එම කමිටුවේ සභාපති ප්‍රදීප් නියදඬුපොළ මහතා විසින් කාර්යාංශයේ දී භාර දෙන ලදී.
එම අවස්ථාවට එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන මංගල රන්දෙණිය, ධනුක සමරක්කොඩි, මධුෂාන් කුලරත්න, මංජුල බටගොඩ හා ගිහාන් ධනුෂ්ක යන මහත්වරුන් එක්විය.
මෙම තුන් අවුරුදු සැලැස්ම මගින් දැනට පසුබෑමකට ලක් වී තිබෙන විදේශ රැකියා ක්ෂේත්රය කඩිනමින් ඵලදායීතාවය ඉහළ නංවා, විගමනික ප්‍රජාව හා ක්ෂේත්රයට අදාල සියලු පාර්ශවකරුවන්ගේ අදායම ඉහල නැංවීම සඳහා ප්‍රධාන යෝජනා 14 ක් යටතේ අනුයෝජනා 57 ක් ඉදිරිපත් කර තිබේ.
කොවිඩ් 19 වසංගතයත් සමඟ කඩාවැටීමට ලක්වූ විදේශ රැකියා කර්මාන්තය කෙටිකාලීනව සංවර්ධනය කිරීම සඳහා යෝජනා 04 ක්ද මෙම වාර්තාව මඟින් ඉදිරිපත් කර තිබේ. ලෝක වසංගතය හමුවේ විදේශ රැකියා ක්ෂේත්රයේ ගෝලීය අභියෝග වලට මුහුණ දීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, දැනට ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයන් පිලිබඳ සමීක්ෂණයක් සිදු කර රැකියා අවස්ථා යලි එම රට තුල දිම ස්ථාපනය කිරීම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කොවිඩ් රෝගයෙන් තොර බවට ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම ඒ අතර වේ.
විදේශ රැකියා ප්‍රවර්ධනය, විගමනික ශ්රමියන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් හා ආයෝජන අවස්ථා ඇති කිරීම, විගමනික ශ්‍රමික ආයෝජන කලාප ඇති කිරීම, පවුල් පසුබිම් වාර්තාව ලිහිල් කිරීම, විදේශ රැකියාලාභීන්ගේ දරුවන් වෙනුවෙන් වෙනම පාසලක් ආරම්භ කිරීම, මාධ්‍යගත පුහුණු පාසලක් ආරම්භ කිරීම යන යෝජනා ද මෙයට ඇතුළත් කර තිබේ.
බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතන සංවර්ධනය කිරීම හා දැනට පසුබෑමට ලක් වී ඇති ආයතන නගාසිටුවීම, විදේශ රැකියා ඇණවුම් ඔවුන් අතර සාධාරණව බෙදා දීම, රැකියා නියෝජිතායතන සඳහා බලපත්‍ර ලබා දීමේ භෞතික නිර්ණායක සරල කිරීම ද යෝජනාවට ඇතුළත් වේ.
කොරෝනා වෛරසයෙන් තොර විගමනික ශ්‍රමිකයන් ලෙස විදේශ ගත කිරීමේදී මත්තල ගුවන් තොටුපල හරහා සිදු කිරීම, නිරෝධායන ක්‍රියාවලිය ශ්‍රමිකයා සේවය කරන රට තුලදිම සිදු කර යලි සේවය යෙදවීම, කොවිඩ් පාලනය කල රටවල් මෙරට ශ්‍රමිකයන් යොමු කිරීම සදහා ක්ෂණික මෙහෙයුමක් ආරම්භ කිරීම ද මෙම තුන් අවුරුදු සැලැස්මට ඇතුළත් කර තිබේ.
මෙයට අමතරව සෞභාග්‍ය දැක්ම යටතේ කැබිනෙට් හා රාජ්‍ය අමාත්‍යාංශ 18 සමඟ සම්බන්ධ වී විදේශ රැකියා කර්මාන්තය හා විදේශීය ප්‍රේෂණ ඉහළ නැංවීම, ප්‍රවර්ධනය යන අංශ කොරෙහි ද අවධානය යොමු කොට තිබේ.