විදුලි ගැටලුව තව දින 10ක් පමණ කාලයකදී අවසන් කරන බවත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට විදුලි කප්පාදුවක් සිදු නොකර බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසිය.
වර්ෂාව වෙනුවෙන් අනුරාධපුර රුවන්වැලි මහා සෑය හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පැවැති පූජාවකින් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“මේ දිනවල පවතින උග්‍ර ජල හිගය නිසා විදුලය උත්පාදනය කිරීමේ ගැටළුවක් මතුවෙලා තිබෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න කියලා. අපි ජනතාවගෙන් මීට පෙර කළ මේ ඉල්ලීමට ජනතාව විසින් යහපත් ප්‍රතිචාර දක්වලා තිබෙනවා.
රාත්‍රී කාලයේදී පැවති ඒකක 3600 – 3700 ක් පමණ වූ විදුලි ඉල්ලුම, මේ වනවිට ඒකක 3200 ක් පමණ දක්වා අඩුවෙලා තිබෙනවා. මේ උග්‍ර ප්රශ්නය තිබෙන්නේ තවත් දින 10 ක් වගේ කාලයකට පමණයි. අපි පොරොන්දු වෙනවා සිංහල හින්දු අළුත් අවුරුද්දට කිසිදු විදුලි කප්පාදුවක් ඇති කරන්නේ නැහැ කියලා.
නැවතත් මෙවැනි ගැටළු ඇති නොවන පරිදි අපි සම්පූර්ණයෙන් වගබලා ගන්නවා. අපි අකමැත්තෙන් වුවත් පිළිගත යුතුයි මෙම තත්ත්වයට හේතුව තමයි ස්ථිරසාර ජනන වැඩපිළිවෙලක් ඇති නොකිරීමේ ප්රථිවිපාකයි මේ.
වසර ගණනාවක් තිසේසේ කිසිම ජනන වැඩපිළිවෙලක් සිදුකරලා නැහැ. වාර්ෂිකව 6%ක් 7% ක් වගේ ප්‍රාමණයකින් විදුලි ඉල්ලුම වැඩි වෙනවා. අපිට ඉල්ලුම නවත්වන්න බැහැ. ඒ හා සමානව සැපයුමක් ඇතිකළ යුතුයි. අපි ඒ පිළිබදව ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව පාර්ලිමේන්තවේදී දැනුවත් කරනවා.
ඉන්පසුව අපි එල්.එන්.ජී. බලාගාර 07ක්, තාප බලාගාර සහ ගල් අගුරු බලාගාර දෙකතුනකුත් සූර්ය සහ සහ සුළං බලාගාරත් ක්‍රියාත්මක කරලා අවම වශයෙන් මෙගාවොට් 500ක් 600 ක් ජාතික පද්ධතියට එකතුවන වැඩපිලිවෙලකට යන්න අපි සැලසුම් සකස් කරනවා.
බලාගාර ඉදිකරනතුරු, ජනතාවගේ විදුලි ගැටළුව විසදීම පිණිස දැනට ජනනය සඳහා යන වියදමට වඩා අඩු මුදලකට මෙගාවොට් 500ක් 600ක් වගේ ප්‍රමාණයක් ඉදිරි මාස එකහමාරක තුළ ජාතික පද්ධතියට අපි එකතු කරනවා.
කෘතීම වැසි වෙනුවෙන් අධික වියදමක් දරලා නැහැ. වළාකුළු උපයෝගී කරගනිමින්, විද්‍යාත්මක ක්‍රියාදාමයක් තුළින් තමයි මෙම කර්තව්‍ය සිදුකරන්නේ. මුල් දිනවල සිදුකළ කෘතීම වැසි ඇති කිරීමේ ක්‍රියාව සාර්ථක වෙලා තිබෙනවා. මේ දිනවල වළාකුළු නොතිබීම හේතුවෙන් එම කාර්යය ඇනහිටලා තිබෙනවා.
නමුත් ඉදිරි දින වලදී වළාකුළු පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කියලා තිබෙනවා. ඒ අනුව ඉදිරි දිනවලදී මෙම කෘතීම වැසි ඇති කිරීම සිදුකරනවා.”