විදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සඳහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
නිල නිවාස ඉදිකිරීම ආරම්භ කර මාස 06 කින් ඉදිකිරීම් කටයුතු අවසන් කරන බවත්, වෛද්‍යවරුන්ට අර්ධ සුඛෝපභෝගි නිල නිවසක් හිමි වන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
චීන රජයේ සහන ණය ආධාර යටතේ දිවයිනේ තෝරාගත් රෝහල් 13 ක පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළව ඒරාවූර් මුලික රෝහලේ සහ සමන්තුරෙයි මුලික රෝහලේ ඉදිකරන වාට්ටු සංකීර්ණ සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.
එරාවූර් මුලික රෝහලේ ඉදිකරන වාට්ටු සංකීර්ණය සඳහා රුපියල් මිලියන 234 ක් ද, සමන්තුරෙයි මුලික රෝහලේ ඉදිකරන වාට්ටු සංකීර්ණය සඳහා රුපියල් මිලියන 300 ක්ද වැය කිරීමට නියමිතය.
මෙම උත්සව වලදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ,
“වෛද්‍යවරුන් සදහා ඉදිකරන නිල නිවාස වසර 15 කට පසු යළි රජයට පවරා ගන්නවා. හෙද සේවයට අවශ්‍ය නිල නිවාස ඉදිකිරීම ද විදේශ ආයෝජනයක් මත ආරම්භ කරනවා. ඒ සඳහා අවශ්‍ය මූලික සැලසුම් සකස් කර අවසන්. ඉන්පසු අනෙකුත් සෞඛ්‍ය සේවකයින් සඳහා ද නිල නිවාස ඉදිකරනවා. වකුගඩු රෝගීන් වෙනුවෙන් රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර වැඩි කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබෙනවා.
සෞඛ්‍ය සේවය නොමිලේ ලබාදීම තුළින් දුප්පත් ජනතාවට විශාල සහනයක් ලැබෙනවා. හොඳ රටක් අපි නිර්මාණය කළ යුතුයි. අවස්ථා 03 කදී මාව ඝාතනය කිරීමට උත්සාහ කළත් ඔවුන්ට එය සිදු කර ගැනීමට නොහැකි වුණා. සුළු ජාතීන් වෙනුවෙන් කථා කිරීම නිසා තමයි මාව ඝාතනය කරන්න හැදුවේ. දුප්පත් ජනතාවට අවශ්‍ය හොඳ සෞඛ්‍ය සේවාවක් ලබාදීම මගේ අරමුණයි.”
කෂිනි හපුආරච්චි